සමාජයක් ලෙස අප ජීවත් වන්නේ පෙනුම (Appearance) සහ සාරය (Essence) අතර පවතින සදාකාලික අරගලයක ය.
පසුගියදා මහා භාණ්ඩාගාරයේ මූල්‍ය වංචාවක් පිළිබඳ පුවතත් සමග, ඒ හා බැඳුණු රංග නිශාන්ත ගේ අකල් මරණය අපට පසක් කරන්නේ මිනිස් ජීවිතයක් දයලෙක්තිකව බිඳ වැටෙන ආකාරය යි.
සාරය (අවංකභාවය) සහ බාහිර ප්‍රතිරූපය (සමාජය දුටු හොරා)

හේගල්ට අනුව, ඕනෑම ඒකත්වයක් තුළ ම එහි ප්‍රතිවිරුද්ධ දෙය අන්තර්ගතව පවතී. රංග නිශාන්ත යනු එවැනි ඒකත්වයකි. ඔහු ජීවත් වූයේ අරමුණක් වෙනුවෙන් ම ය. ඔහු අවංක මිනිසෙකි. ඔහු ගේ සමීපම මිතුරන්ට අනුව වංචාවක් හොරකමක් නැති මිනිසෙකි. නමුත් හේගලියානු දයලෙක්තිකයට අනුව, රංග ගේ එම "අධි-අවංකභාවය" නැමැති ගුණාංගය තුළම ඔහු ගේ විනාශය ද ගැබ්ව තිබුණි.
රංගගේ ජීවිතය තුළ අප දකින 'පැල්ම' අතිශය කුරිරු ය. වංචාව හෙළි කළ පුද්ගලයා ඔහුම වුව ද, පද්ධතියේ සහ සමාජයේ ක්‍රියාකාරීත්වය විසින් ඔහුව 'වංචාකාරයා' බවට පත් කරන ලදී. මෙහි ඇති දයලෙක්තික උත්ප්‍රාසය නම්, රංග ආරක්ෂා කිරීමට වෙහෙසුණු ඒ "භාණ්ඩාගාරය" නැමැති පද්ධතිය ම, ඔහුව ප්‍රතික්ෂේප කරන බලවේගය බවට අකුණක් ගැහැව්වා සේ පත්වීමයි. අවසානයේ දී රංගගේ සාරය (අවංකභාවය) සහ ඔහුගේ බාහිර ප්‍රතිරූපය (සමාජය දුටු හොරා) එකිනෙකට පරස්පර විය.
තමන් ගේ ගෞරවය රැකගැනීම සඳහා මරණය වැලඳ ගැනීම
සමාජයක් ලෙස අපට ඕනෑ කරන්නේ ක්ෂණික විනිශ්චයන්යද? මාධ්‍ය, දේශපාලන පක්ෂ සහ මහජනයා රංග ගේ අභ්‍යන්තරික සත්‍යය, පිඩිත ආත්මීයත්වය දෙස බැලුවේ නැත. ඔවුන් දුටුවේ වැඩ තහනම් වූ නිලධාරියකු පමණි. "අන්න හොරෙක්" යන හංවඩුව තත්පරයකින් ඔහු මත පතිත විය. ඔහු රැකපු දේශපාලනය විසින් ම ඔහුව විනිශ්චය කරන ලදී. වසර ගණනාවක් තිස්සේ ඔහු අමාරුවෙන් ගොඩනැගූ නම සහ ගෞරවය, පදනම් විරහිත සමාජ විනිශ්චයන් හමුවේ කුඩුපට්ටම් විය.
හේගල් පවසන්නේ සංකල්පයක් තුළම එහි ප්‍රතිවිරුද්ධ දෙය පවතින බවයි. රංග වැනි මිනිසුන් මේ සමාජයට "අවංක වැඩිය". ඒ අධි-අවංකභාවය නිසාම, තමන් මත පැටවුණු අසාධාරණ චෝදනාව සමග සම්මුතියකට ඒමට ඔහුගේ ආත්මයට නොහැකි විය. පරම අවංක මිනිසෙකුට, තමන් හොරෙකු ලෙස හඳුන්වන ලෝකයක හුස්ම ගැනීම පවා දරාගත නොහැකි වේදනාවකි.
ඔහු තම ජීවිතය තමන් විසින්ම අවසන් කර ගැනීමට තීරණය කරන්නේ පරාජිතයෙකු ලෙස නොවේ. එය තම අරමුණ සහ අවංකභාවය වෙනුවෙන් සිදු කළ අවසන් දයලෙක්තික තේරීමයි. "හොරෙකු ලෙස ජීවත් වීම" නැමැති ප්‍රතිරුපය ප්‍රතික්ෂේප කරමින්, ඔහු තමන්ගේ ගෞරවය රැකගැනීම සඳහා මරණය වැළඳ ගත්තේය.
හෘද සාක්ෂියට එල්ල කළ මරු පහර
රංග නිශාන්තගේ නික්මයාම අපට ඉතිරි කරන්නේ එක් බැරෑරුම් ප්‍රශ්නයකි. අවංක මිනිසෙකුට තම අවංකභාවය වෙනුවෙන් ගෙවීමට සිදුවන වන්දිය මරණය නම්, එවැනි සමාජයක් තුළ "යුක්තිය" යනු හුදු වචනයක් පමණක් නොවේද? අපේ ක්ෂණික විනිශ්චයන් විසින් තවත් කී දෙනෙකුගේ අභ්‍යන්තරික පැල්මවල් මරණය දක්වා තල්ලු කරනු ඇත්ද?
ඔබ නික්ම ගියද රංග, ඔබේ නිහඬ විරෝධය අපේ මේ කුරිරු සමාජයේ හෘද සාක්ෂියට එල්ල කළ මරු පහරක් වනු නොඅනුමානය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
