ඉදිරි වසර 05දී යාපනයට නව සංවර්ධන සැලැස්මක් - අගමැති රනිල් 

ඉදිරි වසර 05දී යාපනයට නව සංවර්ධන සැලැස්මක් - අගමැති රනිල් 

ඉදිරි වසර 05 ඉලක්ක කර ගනිමින් යාපනය දියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ  (07) යාපනයේ දී පැවසීය.

මෙම නව සංවර්ධන සැලැස්ම යාපනයේ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට සකස් කළ බවත්, එය ක්‍රියාත්මක කිරීම තුළින් යාපනයේ පූර්ණ සංවර්ධනයක් ඇති කොට ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම තම අරමුණ බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේ යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව, යාපනය නගර සභා පිටියේ පැවැති ජන හමුවකදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ  (07) පෙරවරුවේ යාපනයේ නව බස් නැවතුම්පොළ නිරීක්‍ෂණය කරමින් එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බලනු ලැබීය. අනතුරුව යාපනය නගර ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ද අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්  සිදුවිය.

ඊයේ  (07) දින සවස යාපනය, කොටුවේ පැවැත්වෙන "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය ද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  විසින් නිරීක්‍ෂණය කළේය.

නගර සභා පිටියේ පැවැති ජනහමුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙසේ ද කීය.

යොපනයේ නගර සභා ගොඩනැගිල්ල යළි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට අද සහභාගීවීමට හැකිවීම ඉතා සතුටුදායක අවස්ථාවක් ලෙස මා සලකනවා. මේ ගොඩනැගිල්ල යාපනයේ නගරයේ තිබෙන විශාල මෙන්ම අලංකාර ගොඩනැගිල්ලක් බව කිව යුතුයි.

මේ ගොඩනැගිල්ල යාපනය සංවර්ධන සැලැස්මේ එක් පියවරක් බව සඳහන් කළ යුතුයි. යුද්ධයෙන් විනාශ වූ යාපනය නගරය ගොඩනැගීම සඳහා 1995 ත් 2002 ත් උත්සාහ කළා. නමුත් ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වුණා. නැවත 2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව යාපනය දියුණු කිරීමට පියවර ගත්තා.

යාපනය දියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලැස්මක් ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සමග සාකච්ඡා කර සකස් කර තිබෙන බව කිව යුතුයි. මත් කුඩු ජාවාරම ද අප මර්දනය කළ යුතුයි. ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. නව කර්මාන්ත ඇති කළ යුතුයි. නව තාක්‍ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි.

ඉදිරි අවුරුදු 05 ඉලක්ක කරගෙන යාපනය දියුණු කිරීම සඳහා වන සංවර්ධන සැලැස්මක් අප සකස් කර තිබෙනවා. මෙතෙක් කිසිදු පාර්ශවයක් මෙවැනි සංවර්ධන සැලැස්මක් කෙරෙහි අවධානය යොමු කර නැහැ. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඔබේ සහය මා ඉල්ලා සිටිනවා. අප සියලූ දෙනා අත්වැල් බැදගනිමින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා දියුණු නව යාපනයක් බිහි කරමු.

මෙහිදී අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ යාපනය අර්ධද්වීපයම දියුණු කිරීම සඳහා වත්මන් රජය නව සංවර්ධන සැලැස්මකට අනුව ක්‍රියා කරන බවයි.

උතුරේත්, දකුණේත් ජනතාව විශාල වශයෙන් මේ වනවිට රට අතහැර ගොස් සිටින බව පැවසූ චම්පික රණවක මහතා මේ තත්වය වෙනස් කර මේ රට සියලූ ජාතීන්ට ඉන්න හිතෙන රටක් බවට පරිවර්තනය කළ යුතුව තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීමට අනුව මේ වනවිට උතුරු පළාත තුළ විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව තමාට ජනමාධ්‍ය ඔස්සේ දැනගැනීමට හැකි වූ බව පැවසූ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඒ පිළිබඳව තමා සතුටු වන බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වනු ඇති බව තම විශ්වාසය යැයි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවන්ට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඊ. ආර්නෝල්ඩ් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න