Image

බොදු - කිතුනු සමගිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් - උදය ගම්මන්පිල කියයි

බොදු - කිතුනු සමගිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් - උදය ගම්මන්පිල කියයි

මේ රටේ සිංහල ජාතිය සතු ලොකුම ශක්තිය බෞද්ධ කතෝලික සමගිය බැවින් බෞද්ධයා සහ කතෝලිකයා භේද කර සිංහලයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ඉතාම අපූරුවට ක්‍රියාත්මක වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

NGO කල්ලියක වැඩක්

''මේ වන විට කාදිනල්තුමා සුරේෂ් සලේ මැතිතුමාට වද හිංසා කිරීමට පක්ෂව ප්‍රකාශ නිකුත් කරන විට අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ මේ වද හිංසා ලබා දීමට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා.ඒ නිසා සුරේෂ් සලේ මැතිතුමාට වද හිංසා ලබා දීමේ සිදුවීම මේ වන විට බුද්ධ ශාසනය සහ කතෝලික පල්ලිය අතර ගැටුමක් දක්වා ඉදිරියට යමින් තිබෙනවා. අපේ රටේ වසර පන්සීයකට අධික කාලයක් බෞද්ධයන් සහ කතෝලිකයන් ඉතාම සමගිව ජීවත් වුණා. විශේෂයෙන්ම සිංහල සමාජයේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර මිශ්‍ර විවාහ අතීශයින්ම සුලභ සිදුවීමක්. එහෙම විවාහ වුණාය කියලා කතෝලික බෞද්ධ සැමියා කතෝලික බිරිඳට ආගම මාරු කරන්න කියලා බල කරන්නේත් නැහැ. කතෝලික බිරිඳ බෞද්ධ සැමියාට ආගම මාරු කරන්න කියලා බල කරන්නෙත් නැහැ. අපේ පක්ෂයේම ඉන්නවා විශාල පිරිසක්. එකම පවුලේ සමහර සහෝදරයෝ බෞද්ධ වෙන්නත් සමහර දරුවෝ කතෝලික වෙන්නත් තරමටම ඒ අපේ රටේ කතෝලික බෞද්ධ සමගිය උච්ච ස්ථානයකට පැමිණිලා තිබෙනවා. මේ රටේ සිංහල ජාතිය සතු ලොකුම ශක්තිය තමයි බෞද්ධ කතෝලික සමගිය. ඒ නිසා බෞද්ධයා සහ කතෝලිකයා භේද කරලා සිංහලයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ඉතාම අපූර්වට හෙමීට යටින් යනවා. මේ සිංහලයා භේද කර දුර්වල කිරීමේ කුමන්ත්‍රණයට නායකත්වය දෙන එන්.ජී.ඕ. කල්ලිය මේ වන විට කතෝලික පල්ලිය තුළ ආධිපත්‍ය පතුරගෙන ඉන්නවා. ඒ එන්.ජී.ඕ. කල්ලියේ ප්‍රමුඛතම චරිත විදිහට තමයි සිරිල් ගාමිණී, ජූඩ් ප්‍රනාන්දු, රුවන් සිල්වා වැනි පියතුමන්ලා කටයුතු කරන්නේ. මේ පිරිස තමයි පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කියන කුමන්ත්‍රණ න්‍යාය ගොනු කරලා කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි පල්ලියේදීත් ඒ වගේම සී.එස්.ආර්. නැත්නම් සමාජයේ සහ සාමයික කේන්ද්‍රයේදීත් කුමන්ත්‍රණක න්‍යායන් ගොනු කරලා සමාජය තුළ ප්‍රචලිත කරමින් ඉන්නේ. මේ අයගේ උත්සාහය තමයි පාස්කු ප්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තවාදීන්ගෙන් නිදහස් කරලා මුස්ලිම් අන්තවාදීන් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් කරලා ඒක බෞද්ධයන් මත පටවලා බෞද්ධ කතෝලික සමගිය කුඩුපට්ටම් කරලා දාන එක.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවුණ දෙයක්

එතකොට මේ මේ කුමන්ත්‍රණ න්‍යාය ප්‍රචලිත කිරීමේ සිය ප්‍රමුඛතම රාජකාරිය කරගෙන සිටින යූටියුබ් කරුවා මීට කලින් සී.එස්.ආර්. නැත්නම් සමාජයේ සහ සාමයික කේන්ද්‍රයේ පඩියට වැඩ කරපු සේවකයෙක්. මේ එන්.ජී.ඕ. කල්ලියේ බලපෑමට තමයි කාදිනල්තුමා මේ ආණ්ඩුවට බල කරලා පාස්කු විමර්ශනයේ සිදුකිරීම සඳහා පොලිස් අමාත්‍යංශයේ ලේකම් ධූරයට රවී සෙනවිරත්න මහත්තයාවත් රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයට ශානි අබේසේකර මහත්තයාවත් පත් කරගත්තේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රහස් පොලීසිය සිදු කරන විමර්ශනයක ප්‍රධාන සැකකරුවෙක් රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයට පත්වෙන්නේ. ඒ වගේම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයට දේශපාලකයෙක් පත්වෙන්නේ. ඒ වගේම තමයි රහස් පොලීසියේ විමර්ශන දෙකක ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය බාර අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් වෙන්නේ. විමල් රත්නායක ඇමතිතුමා නම් කියන්නේ ඕවා අපේ වැඩ නෙවෙයි කාදිනල්තුමාට බැහැ කියන්න බැරිකමට කරපු පත්වීම් කියලා. එතකොට පාස්කු ප්‍රහාරයට තමන්ව අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා අධිකරණයෙන් ඉල්ලා සිටිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා රහස් පොලීසිය විසින් විමර්ශනයක සැකකරුවන් ලෙස අධිකරණය ඉදිරියේ නම් කරලා හිටිය දෙදෙනෙකුට විමර්ශනය භාර දීමට කාදිනල්තුමාට උවමනා වුණේ ඇයි? පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ස්වාධීන පරීක්ෂණයක් හරහා ස්වාධීන විමර්ශනයක් හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව් කරගන්නවා වෙනුවට සැකකරුවන් ලවා විමර්ශනය සිදුකර ගැනීමට කාදිනල්තුමාට අවශ්‍ය වුණේ ඇයි? ඇත්ත මතු වෙනවාට කාදිනල්තුමා බියට පත්වන්නේ ඇයි?

කාදිනල්තුමා ගේ උනන්දුව

ඒ වගේම පාස්කු ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඇති සම්බන්ධය හෙළිදරව් කරගෙන ඊබ්‍රාහිම් නානා, මොහොමඩ් නවුෆර්, රිස්කාන්, මිල්හාන් වැනි පාස්කු ප්‍රහාරයේ සැබෑ සැකකරුවන්ට උසාවි හතක චෝදනා විසිතුන් දහස් දෙසිය හැත්තෑවක් ගොනු කරන කොට පාස්කු ප්‍රහාරයේ වැරදි පාරේ යන බවට කාදිනල්තුමා ප්‍රකාශ කළේ ඇයි? ඒ වගේම අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයට ඍජුවම දායකත්වය ලබා දුන්නු ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස නම් කළ යුතු බවට ජනාධිපති විමර්ශන කමිටුව විසින් නිර්දේශ කර තිබෙන අසාද් මවුලානා කොටි හිතවාදී චැනල් ෆෝ නාලිකාවට කියූ පචයක් පදනම් කරගෙන පාස්කු ප්‍රහාරයේ වගකීම බෞද්ධයන්ගේ හිස මත පටවන්නට කාදිනල්තුමා මෙතරම් උනන්දු වන්නේ ඇයි?''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න