ජනාධිපති අපේක්ෂකය : බල පොරයට මට එන්න බෑ - කතානායක කරූ 

ජනාධිපති අපේක්ෂකය : බල පොරයට මට එන්න බෑ - කතානායක කරූ 

රට තුළ දේශපාලන ආර්ථික හා සමාජීය ස්ථාවර බවක් ඇති කිරිම සඳහා දේශපාලනිකව කිසිදු අන්තයකට නොගොස් මධ්‍යස්ථ හා පරිණත භාවයෙන් යුතුව කටයුතු කළහැකි නායකත්වයක් අවශ්‍යව ඇති ප්‍රධාන පෙලේ  සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු  පෙන්වා දී තිබේ.

එහිදී කිසිදු පක්ෂයක සාමාජිකයන් නොවන ලක්ෂ 30කට ආසන්න මධ්‍යස්ථ ජනතාවගේ මෙන්ම සුළුජන කොටස්වලද සහය දිනාගත හැකි, ක්ෂේත්‍ර ගණනාවක පළපුරුද්ද හා රාජ්‍යතාන්ත්‍රික සබඳකම්වලින් සපිරි නායකයෙකු ලෙස කරු ජයසුරිය කතානායකවරයා කෙරෙහි තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවද සඳහන් කළ ඔවුහු ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සියළු බලවේග ඒකරාශී කර නැගී එන පැසිස්ට්ස් වාදී තර්ජනයට මුහුණ දීම සඳහා නායකත්වය ගන්නා ඉල්ලා සිටි බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

රට තුළ සදාචාර පිරිහීම, මත්ද්‍රව්‍ය හා අපරාධ ව්‍යාප්තිය, උගත් තරුණ තරුණියන් රට හැරයාම වැනි ප්‍රශ්න රැසක්  මුහුකුරා ගොස් ඇති අතර ඒ සියල්ලටම වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යළි අහිමිවනු ඇතැයි යන බිය වර්තමානයේ මතුව ඇති බව ද එම සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන් බවද මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අති ධාවනකාරී තීන්දු තීරණ ගැනීම මඟින් මෙම කිසිදු ප්‍රශ්නයක් විසදීමට නොහැකි බව පෙන්වා දුන් ඔවුහු ඒ සඳහා සංයමයෙන් හා  අධිෂ්ඨානශිලිව ක්‍රියා කරන පරිනත නායකත්වයක් අවශ්‍ය බව අවධාරණය කර තිබේ.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගොඩනැගු  සාධාරණ සාමාජයක් සදහා වූ බලවේගය ඇතුළු සියළු පුරවැසි ව්‍යාපාර එම අරමුණු වෙනුවෙන්  තව දුරටත් අඛණ්ඩව පෙනි සිටින බව සඳහන් කළ ඔවුහු කතානායක  කරු ජයසූරිය  ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය උපරිම ශක්තියෙන් ඒ සදහා දායක වන  බවද කියා සිටි බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස මීට පෙරද ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශවයන් වෙතින් ඉල්ලීම් ලැබී ඇති නමුත් එම කරුණ අරභයා බලපොරයක කොටස්කරුවෙකු වීමට තමන් අපේක්ෂා නොකරන බව කථානායක කරු ජයසූරිය  මෙහිදී පවසා තිබේ.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ශවකරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් වුවද තමා සලකා බලනුයේ, සියලු කොටස් එකමුතු හා සාමුහික ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්නේ නම් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන කවර අපේක්ෂකයෙකුට වුවද එහි සියළු පාර්ශවයන් හි පූර්ණ එකඟත්වය සහ ආශිර්වාදය අතිශයින් වැදගත් බව ද කරු ජයසූරිය කතානායකවරයා  පෙන්වා දුන්නේය.

දේශපාලන ක්‍රියාදාමයක් තුළින් ඉටුකර ගැනීමට කිසිදු පෞද්ගලික අරමුණක් තමාට නොමැති නමුත් මාතෘ භූමියෙහිත්, අනාගත පරපුරෙහිත් අභිවෘද්ධිය  වෙනුවෙන් ඕනෑම කැප කිරිමකට නොපැකිලෙන බවද  හෙතෙම  අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න