2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කැලඹූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 500 කට තුවාල සිදු විය. එදින සිට, සිදුවීමට පෙර සහ පසු ශ්‍රී ලංකා හමුදාවේ සහ බුද්ධි අංශවල භූමිකාව වටා ඇති ප්‍රශ්නවලට පිළිතුරු මේ වන තෙක් නිසි ලෙස ලැබී නොමැත.
ප්‍රහාරයෙන් ටික කලකට පසු ශ්‍රී ලංකා බලධාරීන් ජාතික තව්හීද් ජමාත් (NTJ) නම් දේශීය ආගමික කණ්ඩායමකට දොස් පැවරුව ද, ඉන් පසු සිදුවූ සිදුවීම් දෙස සමීපව බැලීමෙන් ශ්‍රී ලංකා රජය NTJ වෙත දොස් පැවරීමට කඩිනම් වීම යම් ආකාරයක වංක පියවරක් විය හැකි බවට සැකයක් මතු වේ.
මේ සිද්ධියෙන් පසු, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළ පරිදි, මෙම පහත් පෙළේ NTJ කණ්ඩායම තරමක් සංකීර්ණ සහ නවීන ප්‍රහාරයක් දියත් කිරීමට සමත් වූ අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනෙකු දළ වශයෙන් එකවර සහ අනතුරු ඇඟවීමකින් තොරව විවිධ ස්ථානවලට පහර දුන්හ.
බුද්ධි අංශවල නොසැලකිලිභාවය පුදුමයක්

ඇත්ත වශයෙන්ම, වසර ගණනාවක් පුරා කොළඹ දී ත්‍රස්තවාදී ප්‍රහාර ගණනාවක් දියත් කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයට එරෙහි දීර්ඝ සිවිල් යුද්ධය හේතුවෙන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එවැනි මෙහෙයුම් ව්‍යර්ථ කිරීමට දක්ෂ වී ඇත. එපමණක් නොව, අසල්වැසි ඉන්දියාවෙන් ආසන්න ප්‍රහාරයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් ලබා දුන් සවිස්තරාත්මක සහ නිරවද්‍ය බුද්ධි තොරතුරු ශ්‍රී ලංකා බුද්ධි අංශවලට ලැබුණු බැවින්, ඔවුන්ගේ නොසැලකිලි සහගතබාවය ගැන විශාල පුදුමයක් බවට පත්ව ඇත. එබැවින්, මෙවැනි ආකාරයේ සහ නවීන තාක්ෂණික ප්‍රහාරයක් ශ්‍රී ලංකා බුද්ධි අංශවල ඇසට යටින් සිදුවිය හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥයින් පවා ව්‍යාකූල වී ඇත.
මෙම ප්‍රහාරය හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ (DMI) සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ (TID), අවම වශයෙන් සමහර අංශවල අනුදැනුමකින් තොරව සිදු වූ බව සිතීම දුෂ්කර ය. රටේ ආරක්ෂක හමුදා වසර 30 කට වැඩි කාලයක් LTTE සංවිධානයට එරෙහිව සටන් කළ සිවිල් යුද්ධය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා බුද්ධි අංශ අතිශයින්ම සුපරීක්ෂාකාරී වී ඇති අතර, ඔවුන්ගේ බුද්ධි මෙහෙයුම් කාර්යාවලි තුල LTTE නායකයින්ගේ ඡායාරූප තිබූ දෙමළ විශ්වවිද්‍යාල සිසුන් පවා අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ජාත්‍යන්තර සහ දේශීය ප්‍රජාව මුලින් ම සොයාගත යුතු පිළිතුරු
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල ඇඟවුම් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නම්, පහත සඳහන් ප්‍රශ්න ඇසිය යුතුය.
* ප්‍රධාන වශයෙන් බෞද්ධ බහුතරයක් සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සුළුතර කණ්ඩායමකට පහර දීමෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද?
* ISIS සංවිධානයට ශ්‍රී ලංකාව තුළ එතරම් පුළුල් ප්‍රවේශයක් තිබේ ද? එසේ නම්, ඔවුන් ශ්‍රී ලංකාව තෝරා ගත්තේ ඇයි?
* සහ වඩාත්ම වැදගත් දෙය නම්, ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන සහ බුද්ධි ප්‍රජාව ඉන්දියාව විසින් නැවත නැවතත් ඔවුන්ට ලබා දුන් නිශ්චිත බුද්ධි තොරතුරු නොසලකා හැරියේ ඇයි?
අපරාධකරුවන්ගේ සැබෑ අනන්‍යතාව සහ අභිප්‍රා පිළිබඳ ප්‍රහේලිකාව විසඳීමට හැකි වන පරිදි ජාත්‍යන්තර සහ දේශීය ප්‍රජාව මුලින් ම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතු ය.
ගෝඨාභය ගේ සම්බන්ධය

එවකට ශ්‍රී ලංකා කැබිනට් ප්‍රකාශකයෙකු වූ ආචාර්ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ පරිදි, විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා නිලධාරියකු සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ NTJ සංවිධානයට සහාය දී අරමුදල් සැපයූ බවට සාක්ෂි තිබේ. ඔහු ප්‍රකාශ කළේ “ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ ශ්‍රී ලංකා බුද්ධි අංශයේ වැටුප් ලබන NTJ සාමාජිකයින් දුසිම් ගණනක් සිටින” බවත්, නැවතත්, “පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මෑතක දී තහනම් කරන ලද NTJ සංවිධානයේ සාමාජිකයින් 26 දෙනෙකුටවත් ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් වැටුප් ගෙවන බවත්, ඔවුන් ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ බවත්ය.” ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් (විශ්‍රාමික) මොහාන් විජේවික්‍රම පවා NTJ සංවිධානය ගෝඨාභය රාජපක්ෂ ගේ වැටුප් ගෙවන බවට එල්ල වන චෝදනාව ට්විටර් පණිවිඩයකින් සනාථ කළේ ය. බෝම්බ ප්‍රහාරයෙන් සති කිහිපයකට පසු, හිටපු ආරක්ෂක ලේකම්වරයා තම ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළේ ය.
ශ්‍රී ලංකා හමුදාව නීතියට ඉහළින් ද...?
ශ්‍රී ලංකා හමුදාව, නීතියට ඉහළින් ක්‍රියාත්මක වන අතර අධිකරණ ක්‍රියාවලියට නිසි ලෙස අනුගත නොවේ. නිදසුනක් වශයෙන්, 2017 දී මාධ්‍යවේදීන්ට පහර දීමේ සැකය මත අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරියකු වන මේජර් ප්‍රභාත් බුලත්වත්ත, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර විමර්ශනය කිරීම සඳහා නැවත සේවයේ පිහිටුවීමට ගත් තීරණය ශ්‍රී ලංකා හමුදාව සහතික කළේ ය. රොයිටර් වාර්තාවකට අනුව, 2008 දී ශ්‍රී ලංකාවේ ප්‍රකට මාධ්‍යවේදියෙක් වන කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම සහ 2009 දී ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රසිද්ධ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිටුපස සිටින බවට සැකපිට අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ කම්පන සහගත නව පහත් තත්ත්වය
එතැන් සිට, ශ්‍රී ලංකා නායකත්වයේ හැසිරීම පසුතැවිලි නොවන ලෙස ප්‍රකෝපකාරී වී ඇත. 2019 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නව හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය විසින් විවේචනය කරන ලදී.

2009 මුල් භාගයේ දී රටේ හමුදා මෙහෙයුමේ අවසන් අදියරේදී සිල්වා ශ්‍රී ලංකාවේ 58 වන සේනාංකයට අණ දුන්නේ ය. සිල්වා ගේ අණ යටතේ, ආරක්ෂිත කලාප (යුධ මුක්ත කලාප) ලෙස නම් කරන ලද ස්ථානවලට සහ රෝහල්වලට හිතාමතාම බෝම්බ හෙළුෑඅතර, එහි ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගණනක් මිය ගියහ. 58 වන හමුදා සේනාංකයට යටත් වූ ළදරුවන් සහ අවුරුදු 10 ට අඩු ළමුන් ඇතුළු දෙමළ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් නැවත කිසි දිනෙක දැකගත නොහැකි වූ අතර දැන් ඔවුන් "අතුරුදන් වූවන්" ලෙස සැලකේ. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ දී සිදු වූ කුරිරුකම් කෙරෙහි තම කටයුතු යොමු කර ඇති මානව හිමිකම් සංවිධානය වන ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP), මෙම පත්වීම "ශ්‍රී ලංකාවේ කම්පන සහගත නව පහත් තත්ත්වයක්" ලෙස හැඳින්වීය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සිදුවන නීතිමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන සංවේදීතාව වෙනුවෙන් පෙන්වන අවඥා සහගත නිර්ලජ්ජිතභාවය මෙයින් පැහැදිලි වේ.
මෛත්‍රීපාල සිරිසේන ගෙන් නීතියේ ආධිපත්‍යයට පහරක්

රාජ්‍යයේ අධිකරණ මැදිහත්වීමේ තවත් අවස්ථාවක, එවකට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වාර්ගික සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ චෝදනාවට ලක් වූ සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පවා වරදකරු වූ දැඩි මතධාරී බෞද්ධ භික්ෂුවකට සමාව දුන්නේ ය. ජනාධිපති කාර්යාලය සමාව සඳහා කිසිදු හේතුවක් ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර, එය ශ්‍රී ලංකාවේ “නීතියේ ආධිපත්‍යයට පහරක්” ලෙස ආරක්ෂක චින්තන මණ්ඩලයක් විසින් හෙළා දකින ලදී. දැඩි මතධාරී බොදු බල සේනා (BBS) හෝ “බෞද්ධ බලකායේ” ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාරට සමාව දීම සිදු වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස බෞද්ධ කණ්ඩායම් මුස්ලිම්වරුන්ට අයත් නිවාස, පල්ලි සහ සාප්පුවලට පහර දීමෙන් සතියකට පසුවය. හමුදා බුද්ධි නිලධාරීන්ට චෝදනා එල්ල වූ මාධ්‍යවේදියෙකු පැහැර ගැනීම පිළිබඳ අධිකරණ විභාගයකට කඩා පැන ඒ ක්‍රියාවලියට බාධා කිරීම සම්බන්දයෙන්, ඥානසාරට වසර හයක සිර දඬුවමක් නියම කරන ලදී.
වෙනත් කෙනකු ගේ මෙහෙයුමක අවස්ථාවාදී සූරාකෑමක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වටා ඇති තවත් සැක සහිත සිදුවීමක් නම්, ශ්‍රී ලංකා රජය ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සියලු ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහිර කළ ද, ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල චෝදනා එල්ල වූ අපරාධකරුවන් ගේ සහ ඔවුන්ගේ බෝම්බ නිෂ්පාදන කර්මාන්තශාලාවල ඡායාරූප කිහිපයක් සංසරණය වෙමින් පැවතීමයි. ඒවා ඇත්ත වශයෙන් ම අහඹු පුද්ගලයින්ගේ ඡායාරූප විය. ඔවුන්ගේ අනන්‍යතාව AFP විසින් කරුණු පරීක්ෂා කරන ලද අතර, ඔවුන් කිසිසේත් ම ශ්‍රී ලාංකිකයින් නොවන බව සොයා ගත්තේ ය. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ උපන් සිංගප්පූරු ජාතික ශාස්ත්‍රාලිකයකු සහ ත්‍රස්තවාදය පිළිබඳ පොත් කිහිපයක කතුවරයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න 2019 මැයි මාසයේ දී ගේට්වේ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී, රටේ ජාතික ආරක්ෂක යාන්ත්‍රණයේ “සම්පූර්ණ බිඳවැටීම” ප්‍රකාශ කරමින්, කොළඹ දී සැලකිය යුතු කැලඹීමක් ඇති කළ බව ප්‍රාදේශීය පුවත්පතක් වන සන්ඩේ ඔබ්සර්වර් වාර්තා කළේ ය. මේ සියල්ලෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා රජය නිකුත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ යැයි කියනු ලබන වීඩියෝ දර්ශන සත්‍යද නැද්ද යන්න නොදන්නා බවයි. පාස්කු ඉරිදා බෝම්බකරුවන් ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් NTJ හෝ ISIS හි අනුබද්ධ සංවිධාන බවට නිල කතාව පිළිබඳව මෙය සැක මතු කරයි. ISIS සංවිධානය තම ලේ වැකි අරමුණ තවදුරටත් ඉදිරියට ගෙන යන ඕනෑම දෙයකට වගකීම භාර ගැනීමට ඉඩ තිබේ. නමුත් මෙය හුදෙක් වෙනත් කෙනකු ගේ මෙහෙයුමක අවස්ථාවාදී සූරාකෑමක් විය හැකිය. එසේ නොමැතිනම්, මෙම ප්‍රහාර ශ්‍රී ලංකා බුද්ධි අංශවල යම් කොටසක් විසින් සූක්ෂම ආකාරයෙන් සැලසුම් කරන ලද බවත්, සමහර විට විදේශ සහාය ඇතිව සිදු කරන ලද බවත් පිළිගත හැකිය. මෙය චීන මැදිහත්වීමක් පිළිබඳ සැකය තවදුරටත් මතු කරයි.
හෙන්දාවිතාරණ ගේ භූමිකාව
කපිල හෙන්දාවිතාරණ
සමහර වාර්තාවලට අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු චීන විදේශ ප්‍රතිපත්තියේ මෙවලමකි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු කලම්බු ටෙලිග්‍රාෆ් පුවත්පත, ආරක්ෂක අමාත්‍යාංශයේ ගෝඨාභය රාජපක්ෂ ගේ දකුණු අත වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ, චීන බුද්ධි අංශ සමඟ සහයෝගීව කටයුතු කරන බව සුවිශේෂී හෙළිදරව්වක් කළේය. ෂැන්ග්‍රිලා හි ආරක්ෂක ප්‍රධානියා ද වන හෙන්දාවිතාරණ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය කඩාකප්පල් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම භාවිතා කරන ලෙස චීන බුද්ධි අංශ නිලධාරියකුට පවසන හඬ පටයක් ඇති බව එම ලිපියෙන් හෙළි විය. කම්පන සහගත ලෙස, ලිපිය ප්‍රතික්ෂේප කරන්නේ:
“ෂැංග්‍රිලා හි ආරක්ෂක කටයුතුවල දී හෙන්දවිතාරණ ගේ භූමිකාව නිසා, ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත විරෝධී යුද්ධයට ඇමරිකානු මැදිහත්වීම ගැන හෙන්දවිතාරණට දැනුමක් ඇත. නමුත් ඔහු ගේ කනස්සල්ල ඔහු ගේ ආරක්ෂාව යටතේ තිබූ හෝටලයේ අහිංසකයන් බොහෝ දෙනෙකු මිය ගිය බැවින් නොවේය. ඒ වෙනුවට චීන බුද්ධි අංශයේ ඔහු ගේ හසුරුවන්නන් සහ ඒකාබද්ධ විපක්ෂයේ ඔහු ගේ දේශපාලන සම්බන්ධතා ගැන ය.”
මෙම වාර්තාවේ පහතින් පමණක් ලබා ගත හැකි ශ්‍රව්‍ය පටිගත කිරීමේ දී, හෙන්දවිතාරණ තම චීන හසුරුවන්නාට “ඇමරිකානු-ශ්‍රී ලංකා සම්බන්ධතාවය සඳහා කටයුතු කිරීම සඳහා ඔබේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් ඇගයීමට ලක් කරන්න” යනුවෙන් පවසනු ඇසේ.
“විපක්ෂ පක්ෂ, ඒකාබද්ධ විපක්ෂය, දැඩි ලෙස තරඟ වදින වර්ධනයක් සිදුවෙමින් පවතී,” ඔහු අනතුරු අඟවයි. “ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, වරායන් සහ ගුවන්තොටුපළවල් පවා භාවිතා කරමින් ඇමරිකානුවන්ට ඕනෑම අවශ්‍යතාවක් සඳහා නොමිලේ අවසර දීමට ඔවුන්ට අවශ්‍ය වේ.”
“මම ද සෝදිසියෙන් සිටිමි,” ඔහු පැවසීය. “රජය ද එය ප්‍රතික්ෂේප කරනු ඇත. ඔවුන් ගේ රහසිගත සැලසුම් මම නොදනිමි.”
“ඔබේ රාජ්‍ය තාන්ත්‍රික නාලිකා මේ පිළිබඳව දැනුවත් කරන්න,” හිටපු බුද්ධි අංශ ප්‍රධානියා චීන ජාතිකයින්ට පවසන්නේ, “එය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමග කල්තියා සාකච්ඡා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න” ලෙසය.
බුද්ධි අංශ සහ පොලිස් අසමත්වීම් හිතාමතා කළ දෙයක් ද...?
ඇත්ත වශයෙන්ම, ගෝඨාභය රාජපක්ෂ යනු චීන වත්කමක් පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි විශේෂ අවඥාවක් ඇති දැඩි ඉන්දීය විරෝධී සහ බටහිර විරෝධී විරුද්ධවාදියෙකි. ( ඇමරිකාවේ දේපළ ඇතත්) එක්සත් ජාතීන්ගේ සංවිධානය "වසර 30 ක් පමණ" ත්‍රස්තවාදීන් විසින් ආක්‍රමණය කර ඇති බවට ඔහු චෝදනා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැරදි තොරතුරු ලබා දී ඇති බව ඔහු පැවසීය. බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට හිරිහැර කරන බවත්, ශ්‍රී ලංකාවට "ඔවුන් අවශ්‍ය නැත" බවත්, ඔවුන් රටට සැලකිය යුතු ආධාර ලබා නොදෙන බවත් ඔහු චෝදනා කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි මෙම අවඥාව සහ එහි විශ්වසනීයත්වය අඩපණ කිරීමට උත්සාහ කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ විමර්ශන මග හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා දේශපාලන හා හමුදා නායකත්වය ඕනෑම දෙයක් කරනු ඇති බැවින්, එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු අඩපණ කිරීමට උපකාරී වන කඩාකප්පල්කාරී ත්‍රස්ත ප්‍රහාර වූවා ද යන සැකය තවදුරටත් ඇති කරයි. ඊට අමතරව, රාජපක්ෂ පවුලට විරුද්ධ මන්ත්‍රීවරුන් විසින් ආධිපත්‍යය දරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් පවත්වන ලද පරීක්ෂණයකින් කියැවුණේ බුද්ධි අංශ සහ පොලිස් අසමත්වීම්වල තරම (ප්‍රහාර නැවැත්වීමට අපොහොසත් වීම) හිතාමතා කළ දෙයක් විය හැකිද යන ප්‍රශ්නය මතු වූ බවයි.
එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා දැමූ ශ්‍රී ලංකා බුද්ධි අංශය
ශ්‍රී ලංකා හමුදාවේ හෝ රජයේ අරමුණ තමන් ගේ ම පුරවැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීම යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි වුව ද, එවැනි උපකල්පිත ව්‍යාජ මෙහෙයුමක් සඳහා පිළිගත හැකි පැහැදිලි කිරීම් න්‍යායාත්මක කළ හැකි ය. යුද අපරාධ පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ බටහිර ජාතීන්, විශේෂයෙන් එක්සත් ජනපදය විසින්, තනතුරු සඳහා තරග කරන හෝ යුද අපරාධ චෝදනා මග හරින ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නිලධාරීන් විසින් සිදු කරන ලද අපරාධ විමර්ශනය කිරීම සඳහා ය. ප්‍රහාරයට ආසන්න වශයෙන් මාසයකට පෙර වාර්තා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ මෙම නිමක් නැති ඇඟිලි ගැසීම් සහ බාධා කිරීම්, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයට සුළුතර කණ්ඩායම් දෙකක්, එනම් මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් එකිනෙකාට එරෙහිව පෙළගැස්වීමට සහ ප්‍රහාර මෙහෙයවීමට හැකිව තිබූ බවට ඇති තර්කය පැහැදිලිවම තහවුරු කරයි. මෙයින් අදහස් කරන්නේ ISIS සමග සම්බන්ධ දේශීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් රට තවමත් තර්ජනයට ලක්ව ඇති බවට ශ්‍රී ලංකා හමුදාව තම සැඟවුණු න්‍යාය පත්‍රය වංචනික ලෙස ඉදිරියට ගෙන ගිය බවයි. මෙම අදහස සමගින්, ශ්‍රී ලංකා බුද්ධි අංශය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීය:
(1) ත්‍රස්තවාදයෙන් මතුවන අලුත් තර්ජනවලින් තමන්ව ගලවා ගත හැක්කේ රටේ හිටපු ආරක්ෂක ප්‍රධානී ගෝඨාභය රාජපක්ෂට පමණක් බවට ශ්‍රී ලංකා මනෝභාවයක් ඇතිකරමින් මෙම ප්‍රහාර මගින් තවදුරටත් ශක්තිමත් කරන ලදී, සහ (2) එය UNHRC ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව යුද අපරාධ විමර්ශනය ස්ථිරව ම නැවැත්වීම යුක්ති සහගත කර අවධානය වෙනතකට යොමු කළේ ය.
ඉතින්, මේ සියල්ල සම්බන්ධ කරන්නේ නම්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිදු වූයේ විය හැකි හේතු දෙකෙන් එකක් නිසා ය. එක්කෝ එය රැඩිකල්කරණය වූ මුස්ලිම්වරුන් විසින් බාහිර මූලාශ්‍රයකින් - එනම් ISIS - උදව්, පෙළඹවීම, අරමුදල් සැපයීම සහ මොළ සේදීම මගින් කිතුනුවන්ට පහර දීමේ කුමන්ත්‍රණයක් විය හැකිය. නැතහොත්, එය ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් සංවිධානය කරන ලද එකක් ද...? දෙවැන්නට, ඉන්දියාවේ බුද්ධි අනතුරු ඇඟවීම් ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන් නොසලකා හැරීම සඳහා වඩා හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙන බව පෙනේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර, දේශීය ආරක්ෂාව කෙරෙහි රජයට වැඩි බලයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීම සඳහා මහජන අනුමැතිය හරහා තමන්ගේ ම අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් පහසුකම් සපයන ලද 'රීච්ස්ටැග් ගින්නක්' වැනි උපක්‍රමයක් විය හැකිය. එපමණක් නොව, එවැනි මෙහෙයුමක් වෙනුවෙන් විදේශීය බලවතෙකු වන චීනය විසින් රහසිගතව සහාය ලබා ගත හැකිව තිබූ අතර, එය එක්සත් ජනපදයෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනවලින් ඈත් වී තම කක්ෂයට වඩ වඩාත් ඇද ගන්නා ලද පාලන තන්ත්‍රයකින් ප්‍රතිලාභ ලබා ගත හැකි ය.
කගුස්තාන් අරියරත්නම් ගැන:
කගුස්තාන් අරියරත්නම් යනු කැනඩාවේ ඔටාවා හි ආරක්ෂක විශ්ලේෂකයෙකි, ගරිල්ලන් ගේ හෝ විප්ලවවාදීන් ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව ගනු ලබන මිලිටරි හෝ දේශපාලන ක්‍රියාමාර්ග, ත්‍රස්තවාදය වැළැක්වීමට හෝ මැඩපැවැත්වීමට නිර්මාණය කර ඇති දේශපාලන හෝ හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ වසර 25 කට වැඩි දුර්ලභ, ද්විත්ව දෘෂ්ටිකෝණ විශේෂඥතාවක් ඇත. ඔහු ගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ ළමා සොල්දාදුවකු ලෙස අභියෝගාත්මක තත්ත්ව යටතේ ය. ඔහු එල්ටීටීඊයේ හමුදා බුද්ධි ඒකකයේ (1992–1995) බුද්ධි නිලධාරියකු බවට පත් වූ අතර, එහි නාවික සහ ගුවන් අංශ සඳහා මෙහෙයුම් කළමනාකරණය කළේය. පසුව, ඔහු ශ්‍රී ලංකා සිවිල් ගැටුමේ අනෙක් පැත්තට සංක්‍රමණය වූ අතර, ශ්‍රී ලංකා රජයේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ හමුදා බුද්ධි විශ්ලේෂකයකු ලෙස සේවය කළ අතර, පසුව 1990 සිට 2010 දක්වා විවිධ ජාත්‍යන්තර බුද්ධි ආයතන සමග භූමිකා ඉටු කළේය. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයට ඔහු දැක්වූ දායකත්වය අගයමින්, 2003 දී ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ සම්මානය ඔහුට හිමි විය. ආරියරත්නම් ඔටාවා විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ලබා ඇති අතර, 2024 memoir - Spy Tiger: The 05 File හි සම කර්තෘවරයා වන අතර, දැනට Project O Five Ltd හි ප්‍රධානියා වේ.
(මෙම ලිපිය මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 2020 මැයි 25 වන දින “කැනඩාවේ නේටෝ සංගමය” විසිනි.)

කර්තෘ - කගුස්තාන් අරියරත්නම්

සිංහල පරිවර්තනය - ඒ. චානක තිලකරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
