ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීමට සිදුවන සාකච්ඡා වල කිසියම් සුබවාදී තත්ත්වයක් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශ නිසා ප්‍රශ්න ගණනාවක් ඇති වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් පවසයි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා කර ඇති ප්‍රකාශය මෙන්ම අයවැය ඡන්දය වර්ජනය කිරීමට ඔවුන් ගත් තීන්දුව සම්බන්ධයෙන් ඊයේ (10) දින පැවති සාකච්ඡාවලදී විරෝධය පළ කළ බවද ඔහු පවසයි.
එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් පෙරමුණක් හදන්නේ නම් ඒ විරෝධය අව්‍යාජ බව රටට පැහැදිලිව පෙන්නුම් කළ යුතු යැයිද කී සභාපතිවරයා පසුගිය සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි කරුණු ගැන ශ්‍රීලනිප පාර්ශවයෙන් පිළිතුරු නො ලද බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් මේ වන තුරුත් අවසන් එකඟතාවකට පැමිණ නැතැයි කී ඔහු පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලහි ලහියේ හදන දේශපාලන සන්ධානවල කල් පැවැත්මක් නැති බව ද කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
