Image

බොදුබලේ අලුත් වෙයි !

බොදුබලේ අලුත් වෙයි !

බොදුබල සේනා සංවිධානය ඉදිරියේදී දෙමල සහ මුස්ලීම් ජනකොටස් එක්කරගත් ජාතික සමගිය සහ දුෂණ විරෝධී පුළුල් පෙරමුණක් ගොඩනගන බව බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ පවසයි.

ඔහු මේ බව සඳහන්කර සිටියේ බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් බලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (22) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

එම අවස්ථාවට සහභාගීව සිටි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිද එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අතර තම පාර්ශව පසුගිය සමයේ බොදුබල සේනා සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත් ඉදිරියටත් ඕනෑම ප්‍රශ්නයකදී එම සංවිධානය සමග සාකච්ඡා කර සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ අසාද් සාලි මහතා ;

"සිවිල් සමාජය, මුස්ලිම් සංවිධාන ඔක්කොම එක්කහු වෙලා, ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆාගේ නායකත්වයෙන් අපි රැස්වීම් පහක් නැත්නම් හයක් සංවිධානය කරලා අන්‍යෝන්‍ය අවබෝධය හදාගත්තා. ඒකෙන් අපිට ලොකු ඵලක් ඇති වුණා. විශේෂයෙන්ම ගිංතොට වෙච්ච සිද්ධියෙදි, ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඔය ප්‍රශ්නේ අපිට විසඳලා දුන්නා. ඒවගෙම මියන්මාර් සරණාගතයින් ආපු වෙලාවෙදිත් ඕක ලොකූ ප්‍රශ්නයක් වෙලා, කාලගෝට්ටියක් වෙනකොට, අපි ඩිලන්තට කතා කරලා ස්වාමීන් වහන්සෙත් එක්ක ගිහිල්ලා ඒ ප්‍රශ්නෙත් අපිට විසඳලා දුන්නා. ඒවගේම තමයි දිගන ප්‍රශ්නෙ තියනකොටත් ස්වාමීන් වහන්සේ මළගෙදර ගිහිල්ලා ඒකෙ කරන්න පුළුවන් උපරිමය කරලා දුන්නා.

ඉතිං මේවගේ අන්‍යොන්‍යතාවයකට අපි ඇවිල්ලා, සිංහල - මුස්ලිම් ජනතාව අතරේ කිසිම ප්‍රශ්නයක්, ගැටුමක් එන්නැති වෙන්න අපි වාතාවරණයක් හදාගෙන එන මොහොතේ තමයි මේ සිදුවීම වෙලා ස්වාමින් වහන්සේ හිර භාරයට ගත්තේ. ගත්තට පස්සෙත් ඩිලන්තලා, අපි සාකච්ඡා කරගෙන යනකොට, ගිය සුමානෙ අපි හිතුවා, ස්වාමින් වහන්සේට සනීප නෑ කිව්වා, ඉතිං පොඩ්ඩක් ගිහිල්ලා, අපිත් එක්ක මෙහෙම ළඟින් වැඩ කරලා තියෙන නිසා හුඟාක් ප්‍රශ්නවලට අපිට විසඳුම් හොයාගන්න පුළුවන් වුණා.

එතුමාට හුඟාක් දේවල් අවබෝධ වෙලා තිබුණෙ නෑ. ඒවා අවබෝධ කෙරුවට පස්සෙ, මින් පස්සෙ මං මෙව්වා කරන්නෑ කියන තත්වෙටත් ආවා. ඒ තත්වෙට අපේ විශ්වාසය ඇති වුණා. අපි අදටත් දෙයියනේ කියලා ප්‍රශ්නයක් නැතුව ඉන්නවා නම් ඒක එදා කරපු වැඩපිළිවෙල තමයි.

ඊට පස්සේ අසනීපයි කියලා ආරංචි වුණාම, අපි ඇවිත් සැපදුක විමසලා එතුමාට කතා කරලා අපි යනවා. අපි බලාපොරොත්තු වෙනවා, මින් ඉදිරියටත් බොදුබල සේනාව අපිත් එක්ක සාකච්ඡා කරලා මොනවා හරි ප්‍රශ්නයක් එනවා නම්, කොයි හරි ප්‍රශ්නයක් එනවා නම්, අපි දෙගොල්ලොන්ට කතා කරලා ඒවා නිරාකරණය කරගන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න