Image

සිහින කතන්දර එපා; ඇත්ත විසඳුමක් දෙන්න - පුබුදු ජයගොඩ

සිහින කතන්දර එපා; ඇත්ත විසඳුමක් දෙන්න - පුබුදු ජයගොඩ

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බහුතරයක් බොරු බැවින් සහන පැකේජයක් බඳු බොරු සිහින කතන්දරවලට එහා ගිය ඇත්ත විසඳුමක් මේ මොහොතේ ජනතාවට අවශ්‍ය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගෝලීය පරිමාණයෙන් ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සහ එයට ලංකාව මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව ගේ සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ගේ මූලිකත්වයෙන් ඊයේ (07) නුගේගොඩ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

ජනාධිපතිවරයා කිව්වෙ බොරු

"ලෝකයේ ඇති වෙමින් යන යුදමය තත්ත්වය එක්ක මේ වෙද්දි විශාල ආර්ථික අර්බුදයකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න වෙලා තියනවා. අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ අර්බුදයට විසඳුමක් දෙනවා කියලා ජනතාවට සහන පැකේජයක් ඉදිරිපත් කළා. නමුත් අපි හිතනවා සහන පැකේජයක් වගේ බොරු සිහින කතන්දරවලට එහා ගිය ඇත්ත විසඳුමක් මේ මොහොතේ ජනතාවට අවශ්‍යයි කියලා. මොකද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දි කිව්ව කරුණු බොහොමයක් අසත්‍යයි.

අනාගතයේ දී ආහාර අර්බුදයක්...?

අපි පසුගිය කාලේ පුරාවටම රජයට විවිධ යෝජනා ඉදිරිපත් කළා ඉදිරියෙ දි ඇතිවෙන ආහාර අර්බුදයකට මුහුණ දෙන්න දැන්ම ඉඳන් පියවර ගන්න කියලා. මොකද ලෝක දේශපානලනය තුළ මේ මතුවෙලා තියෙන නොසන්සුන්කාරී තත්ත්වය නිසා ඉදිරි කාලෙ දි ආහාර සැපයුම් මාර්ග අඩාළ වෙන්න පුළුවන්කම තියනවා. අනිත් පැත්‍තෙන් ලෝකේ ඇතැම් රටවල් මේ වෙද්දි තීරණ අරන් තියනවා ඉදිරියෙ දි ඇතිවෙන ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා ඔවුන් ගෙ ආහාර සංචිත අපනයනය නොකර රටවල් ඇතුළෙ ම රඳවා ගන්න. අපි රටක් විදිහට සහල්, පරිප්පු, අල, ලොකු ලූණු, සුදු ලූණු වගේ ආහාර වර්ග රැසක් පිටරටින් ආනයනය කරනවා. හැබැයි මේ අලුත් තත්ත්වය එක්ක ඉදිරියෙ දි මේ ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා වීම තුළ රටේ විශාල ආහාර අර්බුදයක් ඇති වෙන්න නියමිතයි. දැන් මෙහෙම තත්ත්වයක් ගැන පූර්ව උපකල්පන මතු වෙද්දි ම ආණ්ඩුව හරි නං යන්න ඕන නුවර එළිය වගේ දිස්ත්‍රික්කවල ඉන්න එළවලු ගොවියන්ව හම්බ වෙන්න. ඔවුන් සමග මේ ප්‍රශ්නය සාකාච්ඡා කරලා අපේ රටේ නිෂ්පාදනය වර්ධනය කරගන්න ඉක්මන් පියවරක් ගන්න ඕන. අනිත් එක තමයි අපිට පුළුවන් ආහාර සඳහා ආදශනවලට යන්න. උදහරණයක් විදිහට පරිප්පු ආනයනයට බාධා මතුවෙනව නම් දැන්මම කඩල පරිප්පු, තෝරා පරිප්පු වගා කරන්න පුළුවන්.

යූරියා සම්බන්ධයෙන් ජනපති කියපු කතාව වැරැදියි

අනිත් කාරණය තමයි අපේ කෘෂි යෙදවුම්වලින් බහුතරයක් පිටරටින් ආනයනය කරනවා. තෙල් පොහොරවල ඉඳාලා, යන්ත්‍රෝපකරණ දක්වා සියල්ල ගෙන්වන්නේ පිටරන්. දැනට ලංකාවේ මහාපරිමාණ සමාගම් ජාලයක් මේවගේ බලය අත්පත් කරගෙන විශාල ලාභයක් උපයනවා. අපි ආණ්ඩුවට දිගට ම කිව්වා වහාම මේ සමාගම් මාෆියාවෙන් කෘෂිකර්මාන්තය ගලවගෙන කෘෂි යෙදවුම් බෙදා හැරීම රජය අතට ගන්න කියලා. එහෙම වුණා නම් ජනතාවට මේ වෙලාවේ යම් සහනයක් දෙන්න පුළුවන්කම තියනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙ දි කරපු කතාවෙදි අපිට මෙවැනි වැඩපිළිවෙළක් පෙනෙන්න තිබුණේ නැහැ. ඔහු යූරියා සම්බන්ධයෙන් කියපු කතාවත් සම්පූර්ණයෙන් වැරදියි. ජනාධිපතිවරයා කිව්වේ යූරියා මෙක්ට්‍රික්ටොන් 14,000ක් ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සතුව සහ තව මෙට්‍රික්ටොන් ලක්ෂයක් සමාගම් සතුව තියනවා, සාමගම් එක්ක කතාකරලා ඒ සමාගම් සතු සියලු යූරියා සංචිත රජයට විකුණන්න එකඟ කරගත්තා කියලා. නමුත් ඒක කරුණක් විදිහට වැරදියි. ඇත්තට ම එකඟතාවය ඇවිත් තියෙන්නේ 65% රජයට විකුණන්න සහ 35%ක් සමාගම් සතුව තියාගන්න. දැනට අක්කරේකට ලැබෙන්නෙත් පොහොර මිටියයි. නමුත් අඩුමතරමින් අක්කරයකට පොහොර මිටි දෙකක්වත් ලබා දෙන්න ඕන. ආණ්ඩුව දිගට ම මෙහෙම වගකීම් විරහිතව නම් වැඩ කරන්නේ ඉදිරියේදී රටේ ජනතාවට බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ.

ජනපති ගේ කතාව වෙනුවෙන් ම භාවිත කළ ගල්අඟුරු

අනිත් බරපතළම කාරණය තමයි ඉදිරියෙ දි ඇතිවෙන්න නියමිත බලශක්ති අර්බුදය. අපි දන්නවා රටේ ජනතාව පියැසි මත සවි කළ සූර්‍ය පැනල අරහා මෙගා වෝට් 600කට වඩා ජාතික පද්ධතියට දායාද කළා. හැබැයි ආණ්ඩුව කළේ මේ සූර්‍ය පැනල ව්‍යාපෘතිය අධෛර්යමත් කරපු එක. ආණ්ඩුවේ යටි අරමුණ තමයි කොම්පැනිවලට කැලෑ ඉඩම් එළි කරලා සූර්‍ය විදුලි බලාගාර හදන්න අවස්ථාව ලබා දීම. මේක නිසා තමයි කැලෑ එළි කිරීම, අලි ගම් වැදීම වගේ ප්‍රශ්න මතු වෙන්නේ. දැන් මෙහෙම තත්ත්වයක් ඇතුළේ ඉස්සරහට වැස්ස නැති වුණොත් අපිට ජල විදුලියත් නැතුව යනවා. එහම වුණොත් දිගටම විශාල මුදලක් වැය කරලා ඩීසල්වලින් තමයි විදුලිය නිපදවන්න වෙන්නේ. දැනටමත් ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක. දැන් මේ විදුලි අර්බුදය යුද්දෙ පිටින් යවන්න ආණ්ඩුව උත්සහ කරනවා. හැබැයි ඇත්තට ම මේ තත්වය ඇති වුණේ බාල ගල් අඟුරු මගඩිය නිසා. අද ජනාධිපතිවරය ගේ පාර්ලිමේන්තු කතාවෙ දි ගල් අඟුරු කාලා බලන්න බැහැ වගේ කතා ගොඩක් කිව්වා. ඒ වගේම තමයි මේ වංචාව යට ගහන්න වගේ ඔහු කිව්වා ගල් අඟුරු බාලයි ම කියන්නත් බැහැ, මොකද ඊයෙ දවසේ ගල් අඟුරුවලින් නියමිත විදුලි ප්‍රමාණය ලැබිලා තියනවා කියලා. මේක ගැන වෙනම හොයන්න ඕන. මොකද පසුගිය කාලේ ප්‍රමිතිය සහිත ගල් අඟුරු නැව් දහයකුත් ආවා. එතකොට ජනාධිපතිවරය ගේ කතාව වෙනුවෙන්ම ඊයේ ඒ ගල් අඟුරු පාවිච්චි කළා ද කියන එක වෙනම හොයන්න වෙනවා. මොකද පහුගිය කාලෙ ම ගල් අඟුරුවලින් අපේක්ෂිත විදුලි ප්‍රමාණය ලැබුණේ නැහැ.

ගල් අඟුරු කන්න ම ඔ්නෙ ද...?

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් 'මම ගල් අඟුරු කාලා බැලුවෙ නැහැ' වගේ ගැලරිය චූන් කරන කතා කිව්වට ඇත්තට ම මේ ක්‍රියාවලියෙ දි ආණ්ඩුව තමන් ගෙ වගකීම පැහැර හැරලා කියන එක හොඳටම පැහැදිලියි. අපිට ගල් අඟුරු පටවන්නේ දකුණු අප්‍රිකාවේ රිචඩ් බේ ටර්මිනල් කියන වරායෙන්. සාමාන්‍යයෙන් සෑම ගල් අඟුරු පටවන වරායකට ම අදාළව නිල රසායනාගාරයක් තියනවා. නමුත් මේ රිචඩ් බේටර්මිනල් වරායෙ නිල ලැබ් එකෙන් නැතුව ආණ්ඩුව මිත්‍රා SK කියන ඉන්දුනීසියානු ලැබ් එකකින් තමයි රසායනාගාර වාර්තාව අරගෙන තියෙන්නේ. මේ සමාගම ඉන්දියානු හිමි කාරීත්වය සහිත සමාගමක්. අනිත් එක තමයි දිගින් දිගටම ගල් අඟුරු ප්‍රමිතිය බාල වෙද්දි අපිට අවස්ථාව තිබුණා වෙනත් රසායනාගාර පරික්ෂාවක් වෙත ගල් අඟුරු සාම්පල යොමු කරන්න. හැබැයි නැව් 13ක් එනකලුත් ආණ්ඩුව දිගටම කලේ මේක මගහැරපු එක. අපි අහන්නේ ගල් අඟුරු කන්න ඕන නැහැ. නමුත් ඇයි මේ කරන්න පුළුවන් දේවල් නොකර හිටියේ...?

රජයට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 12කට වැඩියි

ආණ්ඩුව කිව්වට මේ පාඩුව සමාගමෙන් අයකරන්නවා කියලා ඒකත් බොරුවක්. මොකද පටවන වරායෙදි ෆේල් වෙලා තියෙන්නේ 1, 9, 12 කියන නැව් තුන විතරයි. එතකොට ඒ නැව්වල පාඩු විතරයි අපිට අයකරගන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේගොල්ලන් ගෙ දුර්වලතා නිසා සමාගමට ඒකෙනුත් බේරෙන්න ඕන තරම් ඉඩ ලැබෙනවා. මොකද මෙතන තෙවැනි පරීක්ෂාවට දීලා තියෙන්නෙත් අර මිත්‍රා SK කියන රසායනාගාරයට තමයි. ඒ රසායනාගාරය තමයි පටවන වරායෙදි ගල් අඟුරු ප්‍රමිතියෙන් යුක්තයි කියලා හොර වාර්තා ඉදිරිපත් කළේ. මෙතන තියෙන ලොකුම විහිළුව තමයි ඒ ලැබ් එකෙන් ම ගල් අඟුරු ගොඩ බාන වෙලාවෙ නැව් තුනක් ප්‍රමිතියෙන් බාලයි කියලා නැවත වාර්තා දීලා තියනඑක. ඊළඟට මේ ගල් අඟුරු බාල වෙද්දි ටෙන්ඩරේ කැන්සල් කරලා වෙනත් සමාගමකට දෙන්න ඔන තරම් අවස්ථාව තිබුණා. අනිත් සමාගම් තමන්ගේ මිල ගණං ඉදිරිපත් කරලා තිබුණේ ජනවාරි 31 දක්වා. හැබැයි ඒ අවස්ථාවත් මග හැරලා ආණ්ඩුව කළේ හදිසි මිලදීගැනීම්වලට යන එක. ඒ තීරණේ ගත්තේ මාර්තු මාසේ. එතකොට යුද්ධෙ පටන් අරගෙන. දැන් මේක නිසා තරන්ජොට් කියන සමාගමෙන් ගල් අඟුරු මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 142ක ගානේ තමයි ගන්නේ. ජනවාරි 31ට කලින් අවශ්‍ය තීරණය ගත්ත නම් අපිට ගල් අඟුරු මෙට්‍රික්ටොන් එක ඩොලර් 100 - 110ක් අතර ගන්න තිබුණා. එතකොට මෙතන රජයට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 12කට වැඩියි.

ආණ්ඩුවේ සූදානම සමාගම් පිනවන්න යි

මේ පාඩුව කම්පැනියෙන් අයකරගන්නවා කියලා ජනාධිපතිවරයා කිව්ව කතාවත් බොරු. මොකද කතාවෙ දි ඔහු කියපු විදිහට මුළු පාඩුවෙන් කම්පැනිය දරන්නේ බිලියන 7යි. පාඩුවෙන් බිලියන 15ක් රජයටත් තව බිලියන 10ක් ජනතාවටත් ගෙවන්න වෙනවා. දැන් මෙතන රජය කියන්නේ කවුද ? ආණ්ඩුවේ ඇමතිවරු ගෙදරින් ගෙනල්ලා මේ පාඩුව පියවන්නේ නැහැනේ. මේ කියන බිලියන 15ත් බදු හරහා ගෙවන්න වෙන්නේ ජනතාවට. ඒකත් ගෙවලා විදුලි බිලෙන් ආයෙම බිලියන 10ක් ගෙවන්න වෙනවා. අපිට ඒ නිසා පැහැදිලියි අර්බුදය හමුවේ ආණ්ඩුව යන්නේ මොන පාරෙද කියලා. ආණ්ඩුව ලෑස්ති වෙන්නේ අර්බුදය වෙලාවෙත් සමාගම් පිනවන්න. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරන්න එකතුවෙමු කියලා"

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න