දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක, ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක, දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත්

එහි දී ගාමිණී දිසානාක මහතා අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය ඇති කළ යුතු බවත්, ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ දී පැවති ගාමිණී දිසානායක ජන්ම දින සැමරුමේ දී යි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මහජන විශ්වාසය පොදුජනතාව ගේ අයිතිය රුපියල් ශතවලට ලබා දුන් කාලය අවසන්

''සමාජය දැන් ඔළුගෙඩි දේශපාලනය ඩොලර් කුට්ටි දේශපාලනය පිළිගන්නේ නැහැ. එවැනි හවුලකට එකමුතුභාවයකට සූදානම් නැහැ. ජනතාව ගේ වරමින් කරපිට හිසමත නැග ලබා ගන්නා ජයග්‍රහණය තුළින් අවසානයේ ජයගත යුත්තේ පොදුජනතාව යි. මහජන විශ්වාසය පොදුජනතාව ගේ අයිතිය රුපියල් ශතවලට ලබා දුන් කාලය අවසන්. මැද මාවත, පොදුජන මාවත, තුන්වැනි මාවත වෙනුවෙන් ලුම්පන් ධනවාදය අන්තවාදී ලිබරල් න්‍යායන් බැහැර කර අන්ත කොමියුනිස්ට්වාදය, සමාජවාදය බැහැර කර මානුෂීය ධනවාදය කරා යොමුව, සමාජ සාධාරණත්වය කරා යොමුව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සුරකින, සම්බුද්ධ ශාසනයට මුල්තැන දෙන, සුරක්ෂිත කරන, ප්‍රවර්ධන කරන, සෙසු ආගම් ජාති ශක්තිමත් කරන, එක්සිත්ව, එක්සත්ව, සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටිනවා.

මගේ දේශපාලන ගමනේ ආරම්භකයා ගාමිණී දිසානායක මහතා යි

මගේ දේශපාලනයේ ආරම්භය ලබා දුන් අය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ අර්ථකථන සිදු කළත් පවුල් දේශපාලනය බැහැර කළ අයකු ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා ගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසියා. මගේ දේශපාලන හා සමාජ සේවා ගමනේ ආරම්භය ලබා දුන්නේ දිවංගත ගාමිණී දිසානායක මහතා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකකමක් ලබා දුන්නා.

ගාමිණී දිසානායක මහතා කටයුතු කළේ ජනතාවාදී කදවුරේ

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පොදුජන නායකයකු වූ ගාමිණී දිසානායක මහතා 30 වසරකින් අවසන් කිරීමට නියමිත මහවැලිය වසර හයකින් අවසන් කිරීමේ අභියෝගය බාර ගෙන එය ඉටු කළා. ස්වර්ණභූමි ඔප්පු වැඩසටහන නිර්මාණය කළේ ද එතුමා. එතුමා සිටි කඳවුර වුණේ ජනතාවාදී, ජනහිතකාමී, ජනතාව ගේ කඳවුර යි.

වම දකුණ දැන් අසාර්ථකයි

මහපොළොවේ යථර්ථය වන්නේ වම සහ දකුණ අසාර්ථක බවයි. මේ වාමවාදී සහ දක්ෂිණාංශික න්‍යායන් විදේශයෙන් අප රටට පැමිණි පරගැති න්‍යායන්. අද අප රටට අවශ්‍යව ඇත්තේ ජනතාවාදී න්‍යායක්. පොදුජනතාව සුරක්ෂිත කරන පොදුජනතාව රැකගන්න සමස්ත පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වන න්‍යායක්.

දැන් ලෝකය පිළිගන්නේ ජනතාවාදී පාලන

වමේ කඳවුර, දකුණේ කඳවුර යනු යල්පැන ගිය, ලෝකය ප්‍රතික්ෂේප කළ න්‍යායන්. ලෝකය පිළිගන්නේ ජනතා කේන්ද්‍රීය ජනතාවාදී න්‍යායන්. ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු අය කිසිදු න්‍යාය කඳවුරකට දැමුවේ නැහැ. කුමන කතා කිව්වත් මේ නායකයක් අනුගමනය කළේ ජනතාවාදී න්‍යායන්.

රණසිංහ ප්‍රේමදාස සහ ගාමිණී දිසානායක ගමන් කළේ එක ම මාවතක

මහවැලිය, මහපොළ, ගම්උදා හා ජනසවිය දක්ෂිණාංශික න්‍යායන් නෙවෙයි; පොදුජනතාව ශක්තිමත් කරන ජනතාවාදී න්‍යායන්. ගාමිණී දිසානායක මහතා: ලුම්පන් ධනවාදය, ගජමිතුරු ධනවාදය වාමවාදී සමාජවාදී අන්තවාදය පවා ප්‍රතික්ෂේප කළා. මහවැලිය, ස්වර්ණභුමි ඔප්පු වැඩසටහන් හරහා පොදු ජනතාවගේ සිතුම් පැතුම් රජකරවන ජනතාවාදී න්‍යායක් ක්‍රියාත්මක කළා. අප රටට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා දෙන්න දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක් ඉටු කළා. මහවැලි සංකල්පයට දැවැන්ත මූල්‍ය ශක්තිය ලැබෙන විට වික්ටෝරියා ව්‍යාපෘතියට පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවේ දී මාග්‍රට් තැචර් මහත්මියගෙන් වික්ටෝරියා ව්‍යාපෘතිය ඉල්ලා සිටීමේ ලියවිල්ල දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා යි. පසු කාලීනව විවිධ හේතු මත, මතිමතාන්තර මත විරසක වීම සිදු වුවත් අවසාන මොහොතේ පවා රණසිංහ ප්‍රේමදාස මහතා අපේක්ෂා කළේ ගාමිණී දිසානායක මහතා සමග එක්වීම. මොවුන් ගමන් කළේ එක ම මාවතක. ඒ පොදුජන මාවත යි.'' 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න