තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතළ තත්ත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
නීතිය හා සාමයට, ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක්
''2026 වසරේ පෙබරවාරි 13 දින තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතළ තත්ත්වයක් මතුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පැය 2කට වඩා අඩු කාලයක තුළ මෙය පාතාල ක්‍රියාකාරකමක් ලෙස පොලිසිය ප්‍රකාශය කිරීමත් සමග මෙරට නීතියේ ආධිපත්‍යයට මෙන්ම යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට ඒ හරහා එල්ල කළ ඇති බලපෑම සහ ජාතික ආරක්ෂාව ගැන රජයට ඇති ආකල්පය සම්බන්ධයෙන් බරපතල අප්‍රසාදයක් ඇතිව තිබෙනවා. මෙය ඉහළම ආරක්ෂක මට්ටමක් ඇති බලප්‍රදේශයක සැලසුම් සහගත අපරාධයක් බව පෙනී යනවා. එබැවින් මේ සම්බන්ධයෙන් මීට පෙර බුද්ධි තොරතුරු සොයා බලා එය මග හරවා ගැනීමට නොහැකි වූයේ ඇයිද කියා ගැටලුවක් මතු වෙනවා. නීතිය හා සාමයට, ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට මේ නිසා තර්ජනයක් එල්ල වී ඇති තිබෙනවා.
රජය ඇඟ බේරා ගැනීම
මහ අධිකරණ විනිසුරු සරත් අබේපිටිය ඝාතනයෙන් පසු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගත් පළමු ඝාතනය වන නිසාත්, මෙය නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක්ව ඇති නිසාත් රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතු යි. රජය මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය යි. විමර්ශන ක්‍රියාත්මක නොකර මෙය පාතාලයේ ක්‍රියාකාරකමක් ලෙස පවසා, මහජන ආරක්ෂාව තහවුරු නොකර රජය සිදු කරන්නේ මේ වගකීමෙන් පලා යාමක්. රජය පාතාලය මර්දනය කළා යැයි කිව්වත් මෙවැනි ඝාතන සිදුවූ විට එය පාතාල ක්‍රියාකාරකම් යැයි කියමින් ඇඟ බේර ගන්නවා. මේ සිදුවීමෙන් පසු ජින්තුපිටියේ සහ කළුතර උතුරේ ද වෙඩි තැබීම් නිසා ජිවිත හානි සිදුව ඇති නිසා රජය මේ ගැන පැහැදිලි කිරීම් සිදු කළ යුතු යි. මේ ම්ලේච්ඡත්වය මර්දනය කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන්න.
ජාතික ආරක්ෂාව යනු ජනතාව ගේ ආරක්ෂාව යි
පසුගිය වසරේ පමණක් වෙඩි තැබීම් 111ක් සිදුවන තෙක් ඒවා නැවැත්වීමට රජය අපොහොසත් වුණා. යුක්තිය පසිඳලීමෙ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වවල ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු යි. අද යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බරපතළ තර්ජනයකට ලක් වෙලා. මොවුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ලබා දෙන සහතිකය ඉදිරිපත් කරන්න. නීතිඥයින් ගේ මෙන් ම අධිකරණ පද්ධතියට සම්බන්ධ අනෙකුත් අය ගේ ආරක්ෂාව ද මේ නිසා බිඳ වැටී තිබෙනවා. මේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 600ක් යන විට ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය ද පිහිටා තිබෙනවා. රජය අධිආරක්ෂිත කලාපයක් නොවන බව කිව්වත් මෙය ඇත්තට ම අධිආරක්ෂිත කලාපයක්. ජාතික ආරක්ෂාව යනු ජනතාව ගේ ආරක්ෂාව යි. අද නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මේ ඝාතන බලපෑම් සිදු කරනවා.''

