අද වන විට සමාජයේ: භීෂණය රජ වී, පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මාවනැල්ලේ දී සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවක දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
අපරාධ වැඩි වීම වාර්තා පිට වාර්තා තියලා
''වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයත් සමග කෑගල්ලේ මන්ත්‍රීවරුන් මට දුරකතන ඇමතුමක් ලබා දී ජනතාවට සේවාවක් කිරීමට වාතාවරණයක් සමාජයේ නොමැති බව පැවසුවා. අද වන විට සමාජයේ භීෂණය රජ වෙලා, පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට අරගෙන. දැන් තියෙන්නෙ මේවා වළක්වාලන්න බැරි ආණ්ඩුවක්.
අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කොයිතරම් පුරසාරම් දෙඩුවත්, මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් මිනිස්සු අද ගෙදරින් එළියට බහින්නේ අවිශ්වාසයෙන්; සවසට ගෙදර එන්න පුළුවන් ද කියන සැකයෙන්. මේ මිනීමරු කල්ලි පාතාල කල්ලි ක්‍රියාත්මක කරන අපරාධ එන්න එන්නම වැඩි වෙලා වාර්තා පිට වාර්තා තබල තියෙනවා.
වැලිගමයි මතුගමයි සිදුවීම් එක හා සමානයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කරන්න පෙර මාලිමා රජය ඔහුව දේශපාලනමය වශයෙන් ඝාතනය කළා. පළමු සභා රැස්වීම පැවැත්විමට ඉඩ නොදී ම, ජවිපේ මන්ත්‍රිවරුන් පැහැර ගත්තා යැයි බොරු චෝදනා කරමින් ව්‍යාජ රංගනයක් සිදු කිරීම. ඒ වගේ ම ජවිපේ මන්ත්‍රිවරයකුගේ ගෙදරට වෙඩි තැබුවා කියල චෝදනා කරාට එම මන්ත්‍රිවරයා දුරකතනයෙන් පැවසූ ආකාරයට එම වෙඩි තැබිම සිදු කර ඇත්තේ ජවිපේ විසින්ම බවට අනාවරණය වුණා.
මෙවැනි ගැටලු මැද තමාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ඉල්ලීමක් සිදු කර ආරක්ෂාව දෙන්න යැයි කිව්වත් පොලිසිය ඒක කරේ නෑ. මේ සෑම සිදුවීමක්ම පිටුපස ඇති එකම අරමුණ වන්නේ වැලිගම ප්‍රදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට ලබා ගැනීම යි. මතුගම වෙන්නේත් ඒ දේ ම යි. ජගත් විතානට පවා මේ මොහොතේ මරණ තර්ජන එල්ල වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ඔහුට ඇති මරණ තර්ජන ගැන අනාවරණය කළේ පොලිසිය නෙවෙයි; ඔහු ම යි. මෙවැනි ගැටලු මැද පොලිස්පතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ ජගත් විතාන අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුවා. වැලිගම සහ මතුගම සිදුවීම්වල ඇති පොදු දෙය වන්නේ මේ සභා දෙකේ බලය ජවිපේ විසින් ගැනිමට උත්සාහ කිරීම යි.
සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්
රජයේ වගකීම සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසීම යි. නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිදලිම හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ජනතාව බලය දුන්නත් අද පාතාල කල්ලිවලට සමාජයේ බලය ලබා දීමට රජය වරම් දී තිබෙනවා. ඒ සෑම දෙයකටම හේතුව රජයේ දුර්වල ප්‍රතිපත්තිය යි.

