පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පොලිස්පතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අපරාධකරුවන් සමඟ සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජගත් විතාන අපරාධකරුවකු ලෙස හැඳින්වීම තරයේ ප්‍රතික්ෂේප කර හෙළා දකිනවා
''වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක් වෙලා. සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කරලා. පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් ඒ බව හොඳට ම පැහැදිලි වෙනවා. මහජන නියෝජිතයකු ලෙස ජගත් විතානට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු කිරීම මේ ප්‍රකාශ නිසා දැඩි අභියෝගයට ලක් වෙලා තිබෙනවා.
පොලිස්පතිවරයාගේ වැරදි ප්‍රකාශ නිසා: පුරවැසියකු ලෙස ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද ජගත් විතානගේ වරප්‍රසාද උල්ලංඝනය වෙලා. මේ අවස්ථාවේ ජීවිත තර්ජන ඇති ජගත් විතාන එම තර්ජන සම්බන්ධයෙන් පැමිණිලිකරු ලෙස කටයුතු කිරීමේ දී අපරාධකරුවකු ලෙස හැඳින්වීම තරයේ ප්‍රතික්ෂේප කර හෙළා දකිනවා. ආරක්ෂාව ලබා දීම දේශපාලනීකරණය වී ද නැත්නම් ආරක්ෂාව ලබා දීමේ භාරදූර වගකීම දේශපාලනඥයන් සියතට ගෙන ඇති ද කියා විමසනවා. ජගත් විතානගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් සිටින යුතු වගේ ම පොලිස්පතිවරයා ප්‍රමුඛ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ඇමතිවරයා ප්‍රමුඛ සියලු දෙනා ජගත් විතානගේ ආරක්ෂාව තහවුරු කර ජිවිතය සුරක්ෂා කළ යුතු යි.
විපක්ෂයේ සියලු ම මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව අවශ්‍ය යි
ලක්ෂ 220ක් පුරවැසියන්ගේ ආරක්ෂාව ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකීම ගත යුතු යි. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මන්ත්‍රිවරියන් සභාපතිවරුන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ මෙන්ම විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු යි. මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර විපක්ෂයේ සියලු ම මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
පැමිණිලිකරුවන් අපරාධකරුවන් බවට පත් කරන්න එපා
මාස ගණනාවක් පුරා ලිඛිත ඉල්ලීම් ඉටු කර ඇති නිසා නිසි නියෝග හා උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටිනවා. ජගත් විතාන විශිෂ්ට ජනතා සේවාවක් කරන ජනතාවගේ ඡන්දයෙන් පත් වූ පුද්ගලයෙක්. ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම රටේ ආරක්ෂක අංශවල වගකීමක්. පොලිසියෙන් සිදුවිය යුතු යුතුකම සහ වගකීම ඉටු වුණේ නැහැ. පොලිස්පතිවරයාට ලැබෙන වාර්තා විකෘති කරන්න එපා. පැමිණිලිකරුවන් අපරාධකරුවන් බවට පත් නොකරන ලෙස අපි එල්ලා සිටිනවා.''

