පසුගිය කාලයේ මේ රට ආර්ථික අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේ "ආර්ථිකයේ ගැලවුම්කරුවා" බවට පත්වනු ඇතැයි රට සහ ජනතාව නන්දලාල් වීරසිංහ කෙරෙහි විශ්වාසය තැබූව ද අවසානයේ ඔහු ලෝක බැංකු නිර්දේශවලට මුවා වෙමින් ශ්‍රී ලංකා මහා බැංකුව "පරම ස්වාධීනත්වයට" පත්කර ඒ ඔස්සේ තමන්ගේ වැටුප මිලියන් ගණනින් වැඩි කරගැනීම සහ, මහා බැංකු බැඳුම්කර නිකුත් කරන්නට තීරණය කරමින්, ඒවායේ පොලී ප්‍රතිශත ඉහළ අගයකින් තීරණය කරමින් තමන්ම ඒ බැදුම් කර මිලදී ගන්නට රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් අයුතු ලෙස ආයෝජනය කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (02) ජාතික නිදහස් පෙරමුණේ පැලවත්ත කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ...
සාකච්ඡාවේ අරමුණ
''අපි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න කල්පනා කළේ ප්‍රධාන කාරණා දෙකක් ඔබ ඉදිරියේ තැබීම සඳහා. එකක් තමයි, පසුගියදා අපි අනාවරණය කරපු වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ, නන්දලාල් වීරසිංහ මැතිතුමාගේ, රාජකාරියට නොගැළපෙන ක්‍රියාව පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කිරීමටත්, ඒ වගේම ඒ පිළිබඳව අප ගන්නා ඉදිරි පියවර පිළිබඳව ඔබ හමුවේ තැබීමටත්.
දෙවෙනි කාරණය තමයි, මත්ද්‍රව්‍ය. විශේෂයෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳව ආණ්ඩුව ගෙන යන ක්‍රියාදාමය සම්බන්ධයෙන් නවතම අනාවරණය වී තිබෙන තොරතුරු පිළිබඳව මේ රටේ මහජනතාව නිවැරදිව දැනුවත් කිරීම සඳහා ඔබ මගින් කටයුතු කිරීම.
විශ්වාසයට වසුරු හෙළු මහ බැංකු අධිපති
පළමු කාරණය හැටියට ගත්තොත්, මීට පෙර තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී අපි අනාවරණය කළා බැංකු අධිපති වෙච්ච නන්දලාල් වීරසිංහ මහත්මයා වැඩ කරපු විදිය. ඔහු ඒ අධිපති ධුරයට පත් වුණාට පස්සේ, ඔබ කවුරුත් දන්නවා, අපි කවුරුත් දන්නවා, මේ රටේ ආර්ථිකය බංකොලොත්, එහෙම නැත්නම් අපට විදේශ රටවලින් ගත්තු ණය ගෙවීමට නොහැකියි, කියන මතය පළ කළේ පාර්ලිමේන්තුවේවත්, එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලයේවත් සාකච්ඡාවට බඳුන් කරලා අනුමැතියක් අරගෙන නෙවෙයි. ඒක ඔහු තනි අභිමතයට ඒ තීරණය ප්‍රකාශයට පත් කළා. ඒ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ අපේ රටේ ආර්ථිකය ඉතා විශාල අභියෝග රැසකට මුහුණ දුන්නා. එවැනි තත්ත්වයක් යටතේ මහ බැංකු අධිපති ධුරයට පත්වෙච්ච නන්දලාල් මහත්මයා, මුල් වකවානුවේ මේ රටේ පොදු ජනතාව හිතුවා, ආර්ථිකයේ, විශේෂයෙන්ම විදේශ ‘‘විනිමය උපයා ගැනීමේ මූල්‍ය ආර්ථිකය ඇතුළේ ගැලවුම්කරුවා‘‘ බවට ඔහු හඳුනාගනු ලැබුවා.
නමුත් මේ ‘‘ගැලවුම්කරුවා‘‘ බවට මේ රටේ අහිංසක ජනතාව හඳුනාගනු ලැබූ නන්දලාල් මහත්මයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත මහ බැංකුව ‘‘පරම ස්වාධීනත්වයට‘‘ පත් කිරීමෙන් පසු, ඔබ කවුරුත් දන්නවා, මේ රටේ මහජනතාවගේ දැඩි අවධානයට යොමු වෙච්ච ‘‘බරපතල වැටුප් වැඩි කරවා ගැනීමක්‘‘ ඔවුන් කරගත්තා. සුළුපටු ගණනින් නෙවෙයි, මිලියන ගණනින් ඔවුන්ගේ වැටුප්, මහ බැංකුවේ සේවය කරන අයගේ වැටුප් වැඩිවුණා.. ඒ දිනවල කතා වුණා රියදුරු මහත්මයෙක්ගේ, ලිපිකරු, කාර්යාල කාර්යසේවක මහත්මයෙක්ගේ වැටුප පවා ‘‘ලක්ෂ ගණනක්‘‘ වෙනවයි කියලා. එතකොට උඩ ඉන්න අයට මිලියන ගණනින් වැටුප් වැඩි කරගත්තු මේ මහත්තුරු, පසුව අපි දන්නවා ඒ පමණකින් සෑහීමකට පත් වෙන්නේ නැතුව මොකක්ද මේ කරලා තියෙන්නේ? මේ රටේ අහිංසක ජනතාව මූල්‍ය ආර්ථිකය ගොඩගනු ඇතැයි පරම විශ්වාසය තැබූ පුද්ගලයා, අද ඒ විශ්වාසයට සම්පූර්ණයෙන් වසුරු හෙළලා තියෙනවා.
අයුක්ති සහගත ලාභයක්, අසාධාරණ ලාභයක්, අයුතු ප්‍රයෝජනයක්
අපි මීට කලින් මාධ්‍ය සාකච්ඡාවක් මගින් අනාවරණය කළා, ඔහුම පොලී අනුපාතය තීරණය කරන භාණ්ඩාගාර බැඳුම්කර, ට්‍රෙෂරි බොන්ඩ්ස්, ඒ බැඳුම්කරවල ඔහුම පොලී අනුපාතය තීරණය කරනවා. දැන් අනිත් ගැනුම්කරුවන් එන්නේ මේ ගැන නිශ්චිත අවබෝධයකින් තොරව, ඔවුන් එක්තරා ආකාරයකට අවිනිශ්චිත ක්‍රීඩාවකටයි අවතීර්ණ වෙන්නේ. හැබැයි මහ බැංකු අධිපතිවරයා දන්නවා මේ ගනුදෙනුවට ඔහු බැස්සොත් ඒක පාඩු වෙනව ද ලාභ වෙනව ද කියලා. ඔහු තරඟයට අවතීර්ණ වෙන්නේ සියලු තොරතුරු දැනුවත්ව, අනිත් ගැනුම්කරුවන් තරගයට අවතීර්ණ වෙන්නේ සම්පූර්ණ තොරතුරු නොදැනුවත්ව.
එතකොට ක්‍රීඩා පිටියේ ඔහුට තියෙනවා විශේෂ තත්ත්වයක්. ඔහු තමයි බැංකු පොලී අනුපාතය තීරණය කරන්නේ. ඔහු දන්නවා ඔහුගේ මාසකින්, දෙකකින්, තුනකින් කල් පිරෙන ඒ මිලදී ගැනීමට ලැබෙන වාසිය කොයිතරම්ද කියලා. මහ බැංකු අධිපතිවරයා මේ පිටියට පිවිසෙනවා, තමන්ම පොලී අනුපාතය තීරණය කරනවා, තමන්ම බැංකුවල පොලී අනුපාතයත් ඒ මත තීරණය කරනවා. ඒ මගින් මාස දෙකෙන් තුනෙන් කල් පිරෙන බැඳුම්කර මිලදී ගන්නවා. මිලදී ගැනීම මගින් අතිශය විශාල ධනයක්, තමන්ම සේවය කරන ආයතනයේ තමන්ම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම මගින් අතිශය විශාල ලාභයක් ලබනවා., අයුක්ති සහගත ලාභයක්, අසාධාරණ ලාභයක්, අයුතු ප්‍රයෝජනයක් ඔහු විසින් ලබාගන්නවා.
අවස්ථා හතරක දී මිලියන 50ක ආයෝජනයක්
2022.05.04 දින ආසන්න වශයෙන් රුපියල් මිලියන 20කට ආසන්න මුදලක් ඔහු ආයෝජනය කරලා තියෙනවා. 2024.06 දින ආසන්න වශයෙන් මිලියන 14කට ආසන්න මුදලක්ද, 2025.01 ට ආසන්න වශයෙන් රුපියල් මිලියන 9ක සහ මිලියන 5ක පමණ මුදල්ද ඔහු ආයෝජනය කරලා තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා බැලුවම, 2022.05.04 ඉඳන් 2025.01 දක්වා කාලය තුළ අවස්ථා හතරකදී ඔහු ආසන්න වශයෙන් රුපියල් මිලියන 48.5ක්, ආසන්න වශයෙන් මිලියන 50ක් පමණ, ආයෝජනය කරලා තියෙනවා. සුපිරි වැටුපක් මහ බැංකුවෙන් ලබාගන්නවා.
ඊට පස්සේ ඔහුම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර මිලදී අරගෙන ඔහුම ඒ මුදල් පැටව් ගස්සනවා, අතිරේක දැවැන්ත වාසි ලබනවා. ඔහු පෞද්ගලික ලාභයක් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ නොකළ තොරතුරු පාවිච්චි කරනවා. ප්‍රසිද්ධ නොකළ තොරතුරු දන්න මහ බැංකු අධිපතිවරයා භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නවයි කියන්නේ, ඒකෙන්ම පේනවා ඔහු කරන්නේ කොයිතරම් කැත, නිර්ලජ්ජිත සූදුවක්ද කියලා. මහජන යහපත පමණක්ම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක විය යුතු වෙලාවක, මහජනතාවට ලොරි ටෝක් දෙන මේ මහ බැංකු අධිපතිවරයා තමාගේ යහපත පමණක් පදනම් කොටගෙන, තමාගේ මඩිස්සලය තර කර ගැනීම සඳහා තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මෙවැනි මහ බැංකු අධිපතිවරයෙකුට මේ ධුරයේ තවදුරටත් රැඳී සිටීමට යුක්ති සහගත, සදාචාරාත්මක අයිතියක් තියෙනවද?
මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි
ජනාධිපතිවරයා ඇතුළු මේ මාලිමාවේ කට්ටිය, ජනාධිපතිවරණයට කලින් නම් ඔය මහ බැංකු අධිපතිවරයාව, 'නන්දලාල් අපි බලාගනිමු' කියලා තර්ජනය පවා කරලා තිබුණා. ජනාධිපතිවරයා පවා ඔහු ජනතාව ඇමතූ වේදිකා මත ඉඳගෙන විශාල චෝදනා එල්ල කළා. දැන් මේ අනාවරණය කර තිබෙන තුච්ඡ, තුප්පහි ගනුදෙනුව පදනම් කරගෙන මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව පියවර ගන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැද්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ‘‘පරාටේ නීතියෙන් ගලවගන්න‘‘ කිව්වම 'ඒවා කරන්න බෑ' කියලා ඒ මිනිස්සුන්ගේ උගුරු දණ්ඩ මිරිකන මහ බැංකු අධිපතිවරයා, මේ විදියට අයුක්ති සහගත, සදාචාර විරෝධී ලෙස තමන් හම්බ කරන්න තමන්ගේ ධුරය පාවිච්චි කරනවා නම්, එවැනි ධුරයක ඔහු තවදුරටත් තබා ගැනීම කොහොමද නිවැරදි වෙන්නේ?
ඒ නිසා ආණ්ඩුව මේකට පියවර ගත යුතුයි. ලැජ්ජාවක් ගෑවිලවත් තියෙනවා නම් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. ඔහු ඉල්ලා අස් වෙන්නේ නැත්නම්, ඉදිරියේදී අපි මේ පිළිබඳව නීති මගින් කටයුතු කිරීමට කඩිනමින් පියවර ගන්නවා. අපි තව ටික දවසක් බලනවා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවද, මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස් වෙනවද කියලා බලලා, අපි පැමිණිලි කරන්න තියෙන සෑම ආයතනයකටම මේ පිළිබඳව පැමිණිලි කරලා අවශ්‍ය සියලු පියවර ගන්න අපි ‘‘ජාතික නිදහස් පෙරමුණ හැටියට‘‘ කටයුතු කරන බව මේ අවස්ථාවේදී මම අවධාරණය කරනවා.''