2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.
නඩුව අද කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් ඉදිරියේ කැඳවූවේ ය.
ඒ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ, මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු දෙදෙනකුගේ තනතුරු පුරප්පාඩු වී තිබෙන බවයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් අගෝස්තු මස 18 වනදා අගවිනිසුරුවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි.
ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම දැනුම් දීම සටහන් කරගත් විනිසුරුවරයා මෙම නඩුව යළි ඔත්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස නියම කළේ ය.
2019 වසරේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්‍ෂ ලේකම් එම සිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
මීට පෙර මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණා.
පසුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේ ය.
එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බව පැවසුවේ ය.
ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තිවාචකය කැඳවා අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කළේ ය.
ඒ අනුව නඩුව යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවා තිබේ.