2024 ජනාධිපතිවරණයට හයිය පෙන්නන්න : කොළඹ උතුරන්න මැයි දින සැමරුම් !

2024 ජනාධිපතිවරණයට  හයිය පෙන්නන්න : කොළඹ උතුරන්න මැයි දින සැමරුම්  !

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර වැඩකරන ජනතා දිනය 138 වන වරටත් හෙට (01) සැමරීමට නියමිතය .

ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රැසක් විසින් මැයි දින සැමරුම් රැලි සහ පෙළපාළි 40ක් පමණ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවිධානය කර ඇත .

වාර්තා වන ආකාරයට කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14කි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ නගරයේදී සිය මැයි දින රැළි, පෙළපාලි හා සැමරුම් සිදුකරයි.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින රැළිය පවත්වන්නේ,කොළඹ මාලිගාවත්ත පොලිසිය අසලය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බොරැල්ල කැම්බල් පිටියේදී සිය රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය කොළඹ කොටුව ආශ්‍රීත මාර්ග කිහිපයකින් දිවෙන මැයි දින පෙළපාලියක් පවත්වා පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී සිය මැයි රැළිය පැවැත්වීමට නියමිතය.

ජාතික ජන බලවේගය පක්ෂය මෙවර සිය මැයි දින රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර හැව්ලොක් පාරෙන් ආරම්භ වන එම පක්ෂයේ පෙළපාළිය තුම්මුල්ල පසුකර කන්නංගර මාවත ඔස්සේ එම ස්ථානයට පැමිණීමට නියමිතයි.

එම පක්ෂය කොළඹදී පවත්වන මැයි සැමරුමට සමගාමීව යාපනය, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික්කවලද මැයි සැමරුම් සංවිධානය කර ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය සංවිධාන කරන මැයි දින රැළිය ගම්පහදී පැවැත්වෙයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින සැමරුම ද කොළඹ සංවිධානය කර ඇත.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩි බලයක් පෙන්වීමට දේශපාලන පක්ෂ සිය මැයි දින සැමරුම් උපරිම ජන සහභාගීත්වයක් ඇතිව සංවිධානය කෙරෙමින් තිබෙන බව ද වාර්තා වෙයි .

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ හෙට දින කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව යි. එසේම ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න