රාජ්‍ය ආයතනයක් යනු සෑම පුරවැසියෙකුටම තමන්ගේ දෛනික හා සුවිශේෂී අවශ්‍යතාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් පිහිට සපයන මූලිකම ස්ථානයයි. පුරවැසියාගේ බදු මුදලින් නඩත්තු වන මෙම ආයතන, රටක පරිපාලන හා සංවර්ධන කර්තව්‍යයන්හි සෘජු පාර්ශවකරුවන් ලෙස ක්‍රියා කරන්නේ මහජන සුබසෙත සහ කාර්යක්ෂම සේවා සම්පාදනය මූලික පරමාර්ථය කරගනිමිනි.
කෙසේ වෙතත්, මෙම රාජ්‍ය සේවාවන් සමතුලිතව, සාධාරණව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සෑම පුරවැසියෙකුටම ලැබෙන්නේද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය වේ.
අභියෝග සහ වෙනස්කොට සැලකීම
සම්පත් හිඟකම වැනි ප්‍රායෝගික ගැටලු හේතුවෙන් රාජ්‍ය සේවාවන් ප්‍රමාද වීම හෝ අකාර්යක්ෂම වීම සිදු විය හැකිය. නමුත් ඊට එහා යමින්, සේවා ලාභියාගේ අනන්‍යතාව හෝ සමාජ පසුබිම මුල් කරගනිමින් වෙනස්කොට සැලකීමට ලක්කිරීම බරපතල තත්ත්වයකි.
වෙනස්කොට සැලකීම යනු පුද්ගලයෙකුගේ අනන්‍යතාව, පසුබිම හෝ පෞද්ගලික ලක්ෂණ පදනම් කරගෙන සේවාවන් ලබාදීමේදී අසාධාරණ ලෙස වෙනස් ආකාරයකින් සැලකීමයි. විශේෂයෙන්ම පහත සඳහන් සාධක මත පදනම්ව කිසිදු පුරවැසියෙකු අසාධාරණයට ලක් නොවිය යුතු අතර, එය පුද්ගල ගෞරවය පිළිබඳ මූලික කාරණයකි:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නෛතික රැකවරණය
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සේවයේදී සමානාත්මතාව තහවුරු කිරීම සඳහා නීතිමය රැකවරණය සපයා ඇත:
අයිතිවාසිකම් කඩවීමේදී ගත හැකි පියවර
බිම්මට්ටමේ යථාර්ථය සහ සමීක්ෂණ තොරතුරු
නීතිමය ප්‍රතිපාදන මෙසේ පැවතියද, ප්‍රායෝගික තත්ත්වය බොහෝ විට වෙනස් මගක් ගනී. - Inclusive future funds (IFF) අර මුදල විසින් ක්‍රියාත්මක කරන ‘සාමයට පියමං’ (Pathways to Peace) වැඩසටහන යටතේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් වසම් 5ක සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳ බිම්මට්ටමේ යථාර්ථය පැහැදිලි වේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෝහල් සහ පොලීසිය යන ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණි පුරවැසියන් 530 දෙනෙකු ඇසුරින් ලබාගත් සමීක්ෂණ දත්ත පහත පරිදි වේ:
මුලින්ම අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාධරයින් සහ පුරවැසියන් සහභාගී කරගෙන කරන ලද කණ්ඩායම් සාකච්ඡා 10ක් පදනම් කර ගනිමින් ලැබුණු තොරතුරු අනුව ව්‍යූහගත ප්‍රශ්නාවලිය සකස් කළ අතර ඉහත දැක්වූ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතන 15ක සේවා ලාභින් සමීක්ෂණයට බදුන් කරන ලදී. ඒ සඳහා විධිමත්ව පුහුණුව ලැබී සමීක්ෂකයනි 23 දෙනෙකු යොදා ගත් අතර 2026 මාර්තු 1 දින සිට ජුනි 1 දක්වා කාලය තුළ සියලු ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් නිම කරල ලදී.
මෙහිදී මූලික වශයෙන් සළකා බැලූ කාරණාවන්ට අදාළ තොරතුරු පහත පරිදි හඳුනා ගත හැකිය.
සේවාවන් වෙත ප්‍රවේශ වීම
සමීක්ෂණයට සහභාගී වූ ප්‍රතිචාරකයන්ගෙන් බහුතරයකට පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රෝහල් වෙතින් සේවාවන් ලබාගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇති බව සොයාගැනීම්වලින් පෙන්නුම් කරයි. සමස්ත ප්‍රතිචාරකයන්ගෙන් 64.3%ක් සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ බව සඳහන් කළ අතර, 30.3%ක් පමණක් එම ක්‍රියාවලිය පහසු වූ බව ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්, මෙම ආයතන වෙත කිහිප වතාවක් ගිය පුද්ගලයන් අතර සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ බවට වාර්තා කළ ප්‍රමාණය වැඩි විය.
සේවාවන් ලබාගැනීම සඳහා වැය වූ කාලය පිළිබඳ තෘප්තිය
ප්‍රතිචාරකයන්ගෙන් බහුතරයක් සේවාවන් ලබාගැනීම සඳහා වැය කළ කාලය පිළිබඳව අතෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත. ආසන්න වශයෙන් තුනෙන් දෙකක්, එනම් 64.7%ක්, සේවාවන් ලබාගැනීම සඳහා වැය වූ කාලය පිළිබඳව අතෘප්තිමත් බව සඳහන් කර ඇත. මෙම අතෘප්තිය මුස්ලිම් ප්‍රතිචාරකයන් අතර ඉහළම මට්ටමක පැවතිණි.
සේවා ලබාගන්නා පුද්ගලයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග
සේවාවන් ලබාගැනීමේදී දුෂ්කරතා අත්විඳි ප්‍රතිචාරකයන් අතරින් කාර්ය මණ්ඩල හිඟය වඩාත් නිතර සඳහන් කළ ගැටලුවක් විය. විශේෂයෙන්, පුහුණු/නිපුණ කාර්ය මණ්ඩල හිඟය, ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ භාෂා සම්බන්ධ බාධා කාර්යක්ෂම සේවා සැපයීමට බලපාන ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම, ඥාති සංග්‍රහය (nepotism) සහ ප්‍රමාණවත් භෞතික සම්පත් නොමැති වීම පිළිබඳ ගැටලුද නිතර වාර්තා වී ඇත.
වෙනස් කොට සැලකීම / වෙනස් ආකාරයෙන් සැලකීම
ප්‍රතිචාරකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සේවා සැපයීමේ ක්‍රියාවලියේදී තමන්ට වෙනස් කොට සැලකීමක් සිදුවූ බව සඳහන් කර ඇත. සමස්ත ප්‍රතිචාරකයන්ගෙන් 42.2%ක් ජනවාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී/පුරුෂ භාවය හෝ වෙනත් ලක්ෂණ මත පදනම්ව තමන්ට වෙනස් ආකාරයෙන් සැලකූ බව වාර්තා කර ඇත. සිංහල සහ දෙමළ ප්‍රතිචාරකයන්ට සාපේක්ෂව මුස්ලිම් ප්‍රතිචාරකයන් අතර අසමාන සැලකීම පිළිබඳ අවබෝධය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතිණි.
සේවාවන් පිළිබඳ සමස්ත තෘප්තිය
සේවාවන් වෙත ප්‍රවේශ වීම සහ බලා සිටීමට සිදුවන කාලය පිළිබඳ පුළුල් අතෘප්තියක් පැවතියද, සේවා සැපයීමේ විශේෂිත අංශ පිළිබඳ තෘප්තියට සාපේක්ෂව සමස්ත සේවාවන් පිළිබඳ තෘප්තිමත් මට්ටම යම් තරමකට ඉහළ විය. කෙසේ වෙතත්, ප්‍රතිචාරකයන්ගෙන් අඩකට වැඩි පිරිසක් තමන්ට ලැබුණු සමස්ත සේවාවන් පිළිබඳව තවදුරටත් අතෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත.
භාෂා වෙත ප්‍රවේශ වීමේ හැකියාව
ප්‍රතිචාරකයන්ගෙන් බහුතරයක් තමන්ට කැමති/ප්‍රමුඛ භාෂාවෙන් සේවාවන් ලැබුණු බව සඳහන් කර ඇත. කෙසේ වෙතත්, විශේෂයෙන් සුළුතර ප්‍රජාවන් අතර භාෂා සම්බන්ධ ගැටලු තවදුරටත් වැදගත් කරුණක් ලෙස පවතී. ප්‍රතිචාරකයන්ගෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් තමන් කැමති භාෂාවෙන් සේවාවන් නොලැබුණු බව වාර්තා කර ඇත.
ද්විභාෂා තොරතුරු දෘශ්‍යමාන වීම
ප්‍රතිචාරකයන්ගෙන් බහුතරයක් ද්විභාෂා පුවරු සහ උපදෙස් දක්නට ලැබුණු බව සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ එවැනි තොරතුරු දෘශ්‍යමාන නොවූ බව ප්‍රකාශ කර ඇත.
මේ ආකාරයෙන් ගත් කළ පෙනෙන් දෙයක් වන්නේ තවත් කුමන හෝ ප්‍රමාණයක් සේවාව ලබා ගැනීමේදී අර්බුදකාරී තත්වයටන් මුහුණ දෙන බවයි. ඇතැම් විට ඒවා සෘජු වෙනස්කොට සැළකීම් නොවිය හැකි ය. භෞතික සම්පත්වල හිගගම, කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවීම, නිපුණ කාර්ය මණ්ඩලයක හිගකම ආදිය ද මීට හේතු වේ.
මේ කෙසේ වතුදු රාජ්‍ය ආයතනයක මූලික අරමුණ වන්නේ තමන්ගෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙනන පුරවැසියන්ට ඔවුන්ගේ තරාතිරම නොබලා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීමයි.
අතැම් තැන්වයල නිරීක්ෂණ වූ කරුණක් වන්නේ කුමන දුෂ්කරතා සහිතව වුවද නිලධාරින් වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට පෙළෙඹන බවය . එසේම ත්‍රිකුණාමකය යනු දෙමළ භාෂා පරිපාලන භාෂාව වශයෙන් පිළිගත් දිස්ත්‍රික්කයකි. ඒ අතරිනුත් දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස ඇති ප්‍රා.ලේ කොට්ඨාසවල තම මව් භාෂාවෙන් සේවාව ලබා ගැනීමේදී දෙමළඵ භාෂිත ප්‍රජාව සෑහිමක පත් නොවීම යන තත්වය තවත් අර්බුද කාරී තත්වයකි.
නිසි අරමුදල් නොමැතිකම ද මෙහිදී මූලිකව බලපාන කරුණක් වන මුත් තවමත් රාජ්‍ය නිලධාරීන්ගේ ආකප්මපය වෙනසක් සිදු නොවීම ද ඊට හේතු වනු ඇත.
රාජ්‍ය සේවය යනු හුදෙක් පරිපාලනමය යාන්ත්‍රණයක් පමණක් නොව, පුරවැසි අයිතිවාසිකම් තහවුරු කරන ප්‍රධානතම මාධ්‍යයයි. ප්‍රසිද්ධ රාජ්‍ය පරිපාලන විද්වතෙකු වන මැක්ස් වේබර් (Max Weber) පෙන්වා දෙන්නේ විධිමත් රාජ්‍ය පරිපාලනයක මූලික ලක්ෂණය විය යුත්තේ "පුද්ගල භේදයෙන් තොරව (Impersonality) සහ නීතිය ඉදිරියේ සැමට සමානව සේවය සැලසීම" බවයි. එසේම, ප්‍රමුඛ දාර්ශනිකයෙකු වන ජෝන් රෝල්ස් (John Rawls) සිය 'සාධාරණත්වය පිළිබඳ යුක්ති සංකල්පයේ' (Justice as Fairness) සඳහන් කරන පරිදි, සමාජයක සාධාරණත්වය මැනිය හැක්කේ එහි වෙසෙන වඩාත්ම අසරණ හෝ අවම වරප්‍රසාද ලත් පුද්ගලයාට ලැබෙන සැලකිල්ල මතය. එම නිසා, ජාතිය, ආගම, භාෂාව හෝ සමාජ තරාතිරම මත පදනම්ව සිදු වන වෙනස්කොට සැලකීම් පිටුදකිමින්, සෑම පුරවැසියෙකුටම ගෞරවණීය හා සමප්‍රවේශී රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම රාජ්‍යයක වගකීමක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට ද අත්‍යවශ්‍ය සාධකයකි.
සටහන - චලක ප්‍රමුදිත ලුණුවිලගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
