ශ්රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී රටේ ජනතාව දීර්ඝ කාලයක සිට ප‍්‍රතික්ෂේප කිරීමට සහ සමාජයෙන් තුරන් කිරීමට බලාපොරොත්තු වූ යම් දේශපාලන සංස්කෘතියක් දැකිය හැකි ය. එනම් ස්වාමිපුරුෂයා මියගිය පසු බිරිඳ දේශපාලනයට පැමිණීම හෝ පියා මියගිය පසු දියණියට හෝ පුතාට දේශපාලන බලය සහ උරුමය හිමිවීම යි.
පංච මහා බලවේගයේ බලය
පවුල් පසුබිම මත පදනම්ව දේශපාලන බලය හිමිකර ගැනීමේ මෙම රටාව පසුගිය දශක කිහිපය පුරාම විවිධ ආකාරයෙන් ක‍්‍රියාත්මක විය. උදාහරණයක් ලෙස රණසිංහ ප්‍රේමදාස ගේ අභාවයෙන් පසු එම දේශපාලන උරුමය සජිත් ප්‍රේමදාස වෙත හිමිවීමත් මහින්ද රාජපක්ෂ ගෙන් පසු එම දේශපාලන උරුමය නාමල් රාජපක්ෂ වෙත පැවරීමට කටයුතු කිරීමත් දැක්විය හැකි ය. මේ ආකාරයට පවුල් වටා ගොඩනැගුණු දේශපාලන බලය මෙන්ම ජනාධිපතිවරයකු බලයට පත්වූ පසු ජනතාව ගෙන් ඡන්දය ලබාගත් පාලකයාට වඩා පිටත සිටින ආර්යාව හෝ පවුලේ වෙනත් අය බලපෑම් කරමින් රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසීමේ සංස්කෘතිය ද ජනතාව ගේ දැඩි පිළිකුලට ලක්වූවකි.
1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් මැදි මාවතේ දේශපාලන ගමනක් ආරම්භ කළේ ය.

නමුත් ඔහු ගේ පාලන කාලය තුළ පැවැති දේශපාලන ව්‍යාකූලතා සහ පරස්පර ප‍්‍රතිපත්ති හේතුවෙන් අවසානයේ දී ඔහුට ඛේදනීය ලෙස ඝාතනය වීමට සිදු විය. මෙම ඝාතන කුමන්ත‍්‍රණය පිටුපස එකල පැවැති දේශපාලන බලපෑම් මෙන්ම ප‍්‍රබල පුද්ගලයින් කිහිපදෙනෙකු ගේ සම්බන්ධතාවල බලපෑමද විය. ඉන් එක් අයෙකු වන්නේ කැලණිය විහාරාධිපති බුද්ධරක්ඛිත හිමියි. එකල සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය වෙනුවෙන් විශාල ලෙස මුදල් වියදම් කරමින් ප‍්‍රබල දේශපාලන බලයක් ගොඩනගාගෙන සිටි හිමිනමක් ලෙස ඒ හිමියන් සැලකිය හැකි ය.
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිනිය
අනෙක් තැනැත්තිය ලෙස විමලා විජේවර්ධන මහත්මිය දැක්විය හැකි ය. බණ්ඩාරනායක රජයේ සෞඛ්‍ය ඇමතිවරිය ලෙස කටයුතු කළ ඇය සහ බුද්ධරක්ඛිත හිමියන් අතර පැවැති සමීප සම්බන්ධතාව සහ ඒ වටා ගොඩනැගුණු තීරණ එකල දේශපාලන ගමන්මග වෙනස් කිරීමටත් බණ්ඩාරනායක ගේ ඝාතනයටත් යම් තාක් දුරකට පාර කැපීමටත් හේතු විය. බණ්ඩාරනායක ගේ අභාවයෙන් පසු එකල රටේ ප‍්‍රධාන බලවේගයක් වූ මහා සංඝරත්නයේ ආරාධනයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට පිවිසියා ය. ආරම්භයේ දී ඇය ගෘහණියක ලෙස පමණක් සිටීමට කැමැත්ත පළ කළ ද පසුව රට භාරගෙන ප‍්‍රබල අභියෝග රැසකට මුහුණ දෙමින් සාර්ථකව රට පාලනය කිරීමට සමත් වූවා ය.

1970 සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ මෙරට ආර්ථිකයට සහ අනාගතයට අදාළ ප‍්‍රබල වැඩපිළිවෙළ සහ සැලසුම් කිහිපයක්ම ක‍්‍රියාත්මක විය. පසුව 1990 දශකයේදී වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ පැවැති භීෂණකාරී සහ දුෂිත දේශපාලන වටපිටාව වෙනස් කිරීම සඳහා ජනතාව නව නායකත්වයක් අපේක්ෂා කළහ. තමන්ගේ ස්වාමිපුරුෂයා වූ විජය කුමාරතුංග මහතා ගේ ඝාතනයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දේශපාලන කරළියට පිවිස රටේ පළමු විධායක ජනාධිපතිනිය බවට පත් වූවා ය.

ජනතාව ගේ විවේචනයට ලක්වන පහත් තත්ත්වය
ලංකා දේශපාලනයේ සිදුවූ ප‍්‍රබල නායකයන් ගේ ඝාතනයන්ගෙන් අනතුරුව එම අඩුව පිරවීම සඳහා ඔවුන් ගේ බිරින්දෑවරුන් දේශපාලනයට පිවිසීමේ යම් ගෞරවනීය ප‍්‍රවේශයක් අතීතයේ දී දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස ගාමිණී දිසානායක ගේ ඝාතනයෙන් පසු ඔහු ගේ බිරිඳ වන ශ‍්‍රීමතී දිසානායක දේශපාලනයට පැමිණ මැතිවරණ සඳහා ඉදිරිපත් වූවා ය. ලලිත් ඇතුලත්මුදලි ගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ වන ශ‍්‍රීමණී ඇතුලත්මුදලි දේශපාලනයට පිවිස අමාත්‍ය ධුර පවා දරමින් සක‍්‍රීයව කටයුතු කළා ය. කෙසේ වෙතත් අතීතයේ පැවැති මෙම ගෞරවනීය පසුබිමට හාත්පසින් ම වෙනස් ලෙස මෑත කාලීනව දේශපාලනඥයින් ගේ අභාවයෙන් පසු ඔවුන් ගේ බිරින්දෑවරුන් කිසිදු සුදුසුකමකින් තොරව දේශපාලන වේදිකාවලට පැමිණීම ජනතාව ගේ විවේචනයට ලක්වන පහත් තත්ත්වයක් දක්වා පහත වැටී ඇති අතර උදාහරණයක් ලෙස මෑතක දී මියගිය සනත් නිශාන්ත ගේ බිරිඳ දේශපාලනයට පිවිසීම එලෙස දැක්විය හැකි ය.
වත්මන් සහ පැරණි දේශපාලන සංස්කෘතිය අතර පවත්නා ප‍්‍රධාන වෙනස
ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන් රාජ්‍ය පාලනයට මැදිහත් වූ ආකාරය පිළිබඳව ද මෙහි දී සංසන්දනාත්මකව දැක්විය හැකි ය. මෙහිදි උදාහරණයක් ලෙස එලීනා ජයවර්ධන මැතිනිය දැක්විය හැකි අතර ජේ.ආර්. ජයවර්ධන ගේ බිරිඳ ලෙස ඇය රාජ්‍ය පාලනයට හෝ දේශපාලනයට අනවශ්‍ය ලෙස ඇඟිලි නොගසා ගෞරවනීය ලෙස සිය කාර්යභාරය ඉටු කළා ය. එමෙන්ම හේමා ප්‍රේමදාස ගැන සැලකීමේ දී රණසිංහ ප්‍රේමදාස ගේ පාලන සමයේදී ඇය රාජ්‍ය පාලනයට දැඩි ලෙස මැදිහත් වෙමින් ස්වාමිපුරුෂයාට සමාන්තරව රට පාලනය කිරීමට උත්සාහ කළ බව පෙනුණි. එමෙන්ම ශිරන්ති රාජපක්ෂ ගැන සැලකීමේදී ද මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී ඇය වෙනම බලකේන්ද්‍රයක් ලෙස කටයුතු කරමින් ආරක්ෂක අංශ, නිලධාරීන් සහ පූජනීය ස්ථාන ඇතුළු සමස්ත පාලන යන්ත‍්‍රණයට ම බලපෑම් කළ බව අපට මතක ය. මෙවැනි පවුල් පාලන සහ අදාළ සුදුසුකම් නොමැති බිරින්දෑවරුන් හෝ ආර්යාවන් දේශපාලනයට පැමිණ රට පාලනය කිරීමට උත්සාහ කිරීමේ සංස්කෘතිය ලංකාවේ ජනතාව දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළ එකක් බව මෙහි දී සඳහන් කළ යුතු ය.
කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක බලයට පත්වීමත් සමග මෙම ආර්යා නාඩගම සහ පවුල් දේශපාලන සංස්කෘතිය අවසන් වී ඇති බව පෙනී යයි. ජනාධිපතිවරයා ගේ බිරිඳ ඉතා අහිංසක ලෙස තමන්ගේ රැකියාව සහ පෞද්ගලික ජීවිතය කරගෙන යමින් රාජ්‍ය පාලනයට හෝ දේශපාලනයට අනවශ්‍ය ලෙස මැදිහත් නොවී සිටීම වත්මන් සහ පැරණි දේශපාලන සංස්කෘතීන් අතර ඇති ප‍්‍රධාන වෙනස ලෙස දැක්විය හැකි ය.
ශිරන්ති රාජපක්ෂ ගේ සැකය සහ බිය

රාජපක්ෂ පවුලේ දේශපාලන උරුමය ඉදිරියට ගෙන යෑමේ උත්සාහයක් ලෙස නාමල් රාජපක්ෂ ගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ දේශපාලනයට ප‍්‍රවිෂ්ට වීමට සූදානම් වන බවට පසුගිය කාලය පුරා ම තහවුරු නොකළ තොරතුරු වාර්තා විය. නාමල් රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වේදිකාවට පැමිණ නායකත්වය ලබා ගැනීමට ඇය සූදානම් වන බවට සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබුණි. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු අනුව ලිමිනි රාජපක්ෂ ගේ දේශපාලන ආගමනයට මේ වන විට පවුල තුළින් ම දැඩි බාධාවක් එල්ල වී තිබේ. නැන්දම්මා ගේ එනම් ශිරන්ති රාජපක්ෂ ගේ විරෝධයක් මෙහි දී මතුව ඇති බව වාර්තා වන අතර ලිමිනි රාජපක්ෂ දේශපාලනයට පැමිණීම සහ නාමල් වෙනුවෙන් වේදිකාවලට නැගීම කෙරෙහි ප‍්‍රධාන ම විරෝධය එල්ල වී ඇත්තේ ඇගේ නැන්දම්මා වන ශිරන්ති රාජපක්ෂ ගෙන් බව නිල නොලත් ලෙස තහවුරු වී ඇත.
මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ක‍්‍රියාවලිය තුළ නාමල් රාජපක්ෂව ඉදිරියට ගෙන ඒමේ ප‍්‍රධාන ව්‍යාපෘතිය මෙහෙයවූයේ ශිරන්ති රාජපක්ෂ ය. ඇය දිගින් දිගට ම උත්සාහ කළේ නාමල් රාජපක්ෂව අනාගත නායකයා ලෙස කරළියට ගෙන ඒමට ය. මෙම තත්ත්වය තුළ ලිමිනි රාජපක්ෂ දේශපාලන වේදිකාවට පැමිණියහොත් ඇයට ජනප‍්‍රියත්වයක් ගොඩනැගී නාමල් රාජපක්ෂට ඇති ජනප‍්‍රියත්වය අභිභවා යනු ඇතැයි ශිරන්ති රාජපක්ෂ තුළ සැකයක් සහ බයක් මතුව තිබේ. තරුණ කාන්තාවක් ලෙස ඇය කෙරෙහි ජනතාව ගේ ආකර්ෂණය වැඩි වුවහොත් නාමල් ගේ දේශපාලන ගමනට එයින් බලපෑම් සිදුවිය හැකි බවට ඇය කල්පනා කර ඇතැයි වාර්තා වේ. මේ අනුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් ලිමිනි රාජපක්ෂ දේශපාලන වේදිකාවට නැගීම හෝ සෘජු දේශපාලනයට පිවිසීම සඳහා ශිරන්ති රාජපක්ෂ ගේ අනුමැතිය හිමිවී නොමැත. රාජපක්ෂ පවුල තුළ පවතින මෙම අභ්‍යන්තර මතභේදය හේතුවෙන් ලිමිනි රාජපක්ෂගේ දේශපාලන ගමන ආරම්භයේ දී ම අභියෝගයට ලක්ව ඇති බව වාර්තා වේ.
මූලාශ්‍ර - Cyber News LK
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
