ජනපති, රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පවරයි

ජනපති, රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට  පවරයි

නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමිනි.

කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදි පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් තමන්ගේ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම බොහෝ ගැටළුවලට එම අවස්ථවේදීම විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර අනෙකුත් ගැටළු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් වීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත්, ගොඩනැගෙන ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් විවර කර දීමට අපේක්ෂා කරන බවත්ය. එමෙන්ම ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා පැවසිය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් දැනුවත් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම නීතිගත කරමින් එම සහනය රටට ලබාදීමට කටයුතු කරන බවත්, ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකිරීමේ නව නීතිය මෙම මැයි මාසයේ දී ගෙන එන බවත් සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවිමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත්, එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට නම් අපනයන ආර්ථිකයක් කඩිනමින් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය. මෙරට තරුණ තරුණියන් නවීන තාක්ෂණයෙන් බල ගන්වමින් ඔවුන් රටේ ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ රජය සතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක , හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන් , ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න