Image

සජිත්ගේ දේශපාලන සතිය: IMF නියෝජිතයින් සජිත් හමුවූ හේතුව

සජිත්ගේ දේශපාලන සතිය: IMF නියෝජිතයින් සජිත් හමුවූ හේතුව

වේදිකාවල සිට ඉන්ධන මිල වැඩි නොකරන බව කියමින්, පසු දින මධ්‍යම රාත්‍රියේම ඉන්ධන මිල වැඩි කළ ජනාධිපතිවරයකු සිටින රටක්.

2027 වසර සඳහා ගෙන එන ආණ්ඩුවේ අයවැය දෙස ජනතාවක් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලා සිටිනා කාලයක්.

ඉන්දන, ගෑස්, විදුලිය, ආහාර මත සහනයක් ඉල්ලා සිහින දකිනා ජනතාවක්.

බලු බද්දේ සිට බදු සහ දඩ ගසමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින වත්මන් මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කළාපය හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්වෙමින් ඇති අවදානම් සහගත තත්ත්වය ගැන පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ පාර්ශව සමඟ සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබුණි.

IMF නියෝජිතයින් සහ රජය අතර පැවති සාකච්ජාව පිළිබඳ පැහැදිලි තොරතුරක් රජය පාර්ශවයෙන් හෙළිදරව් නොවූ පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් හමුවීමට ද පැමිණියේ ය.

 

ජනතාව මත අසාමාන්‍ය බරක් පටවන ආණ්ඩුවේ තීන්දු

WhatsApp Image 2026 10 04 at 11.42.08 AM

විපක්ෂ නායක සජිත් ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඇතුළු නියෝජිත කණ්ඩායමේ සාකච්ජාව  සිදුවුණේ, පාර්ලිමේන්තුවේදීය.

එම සාකච්ජාවට සජිත් සමඟ, හර්ෂ, කබීර්, අජිත්, හර්ෂණ, හෙක්ටර්, මුජිබර් සහ පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ද එක්ව සිටියේය.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සහ ඒ මත රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් විපක්ෂයේ අදහස් IMF නියෝජිතයින් විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් කීවේ, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ ආර්ථික ගැලපීම් මඟින් වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මත අසාමාන්‍ය බරක් පැටවී ඇති බවය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වාගෙන යාමට කටයුතු කිරීම වැදගත් වුවත්, ගෘහ ඒකකවල මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරද දැඩි මූල්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති බව සජිත් පෙන්වා දුන්නේය.

“මධ්‍ය කාලීන ආදායම් මාර්ග ගැන තියෙන අවිනිශ්චිතතාවය රටේ අනාගත ආර්ථික පදනම බිදදැමීමට හේතුවක් වෙන්න පුලුවන්. බදු ආදායම වැඩිවීමෙන් රජයේ ආදායම වැඩිවෙලා තියෙනවා ඒක ඇත්ත, ඒත් ජනතාවගේ ආදායම් වැඩිවෙලා නෑ. ජනතාවගේ අතේ මුදල් සංසරණය වෙන්නේ නෑ. අපි යෝජනා කරන්නේ සමස්ථ සාර්ව ආර්ථික දත්තවලින් ඔබ්බට ගිය වැඩපිළිවෙලක්. දරිද්‍රතාවය ඉහළ යාමත්, උද්ධමනයේ අසීමිත වර්ධනයත්, පවුල්වල ආදායම් පහළ යාමත්, විරැකියා අනුපාතය සීග්‍රයෙන් වැඩිවීමත්,  ව්‍යාපාර කඩාවැටීමත් වගේ කරුණු ගණනාවකට අපේ සමාජය අද මුහුණදෙමින් ඉන්නවා. ඔබතුමන්ලට මම පුංචි යෝජනාවක් කරන්නම්, අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් එක්ක සාකච්ඡා කරලා බිමේ සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න. ඒ අයව නියෝජනය කරන සංගම් කිහිපයක් තියෙනවා, මම නම් වශයෙන් දෙන්නම් කතා කරලා බලන්න ආර්ථිකයේ සැබෑ තත්ත්වය. ඒ වගේම තමයි අධික බදුබර නිසා අසරණ වෙලා ඉන්න අඩු ආදායම්ලාභීන් ගැන විශේෂයෙන් සිතා බැලිය යුතුමයි. අස්වැසුම වගේ වැඩසටහන් වලදී, දිළිඳු කම වගේම ඒ අයගේ මට්ටම මනින දත්ත ගැන අපිට ගැටලුවක් තියෙනවා. පරණ සංඛ්‍යා දත්ත තමයි මේ රජය ඉදිරිපත් කරන්නේ, රටේ ආර්ථික අර්බුදයෙන් පස්සේ දත්ත මේ රජය සමාජගත කරන්නේ නෑ. ඇත්ත දිළිඳු කණ්ඩායම ඉන්නේ ඒ දත්තවල. ඔබතුමාලා සංවිධානයක් විදිහට රජයට බලකරන්න නිවැරදි දත්ත සමාජගත කරන්න කියලා. මොකද සත්‍ය දත්ත නැතුව රටක ආර්ථික වැඩපිළිවෙල සැලසුම් කරන්න බෑ.”

පවතින තත්ත්වය පිළිබඳ බැරෑරුම් ලෙස අවදානය යොමු කරමින්, මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අනුප්‍රාප්තික වැඩසටහනක් හෝ ඒ හා සමාන අවබෝධයක් සහිත වැඩපිළිවෙලකට පැමිණිය යුතු බව විපක්ෂ නායකවරයා මූල්‍ය අරමුදලට යෝජනා කළේය. 

වැඩි ආයෝජන, රැකියා අවස්ථා, ගෘහයක ආදායම් වැඩිවීමක් සහ ජනතාවට ශක්තිමත් ආර්ථික සුරක්ෂිතභාවයක් ඇති කිරීමට නොහැකි නම්, කිසිදු වැඩසටහනකින් ඵලක් නොවන බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා අනාගත බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරමින් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යා හැකි විශ්වසනීය ආර්ථික රාමුවක් රටට අවශ්‍යය බවද පෙන්වා දුන්නේය.

 

ජනතාවට බොරු කියන ජනාධිපති, IMF එකට දුන් ලිඛිත පොරොන්දුව

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහනේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

WhatsApp Image 2026 10 04 at 11.42 AMපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සහභාගී වූ නියෝජිතයෙකු ලෙස ඔහු පෙන්වා දුන්නේ ආර්ථිකමය වශයෙන් වූ ප්‍රතිපත්තිමය කරුණු පිළිබද ආණ්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හොඳ එකගතාවක් පැවැතියද යම් යම් වැඩසටහන්, ව්‍යාපෘති වැනි දෑ පිළිබඳ දෙපාර්ශ්වය අතර පැහැදිලි එකඟතාවක් නොමැති බවය.

“බලශක්තිය ගත්තොත් පිරිවැයට අදාළවන පරිදි මිල ගණනය කිරීමට තමයි දෙපාර්ශ්වයේම එකගතාවය වුණේ. ජනාධිපතිවරයා පසුගිය මැයි මාසයේදී මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම්දී තිබුණේ සැප්තැම්බර්වලින් පස්සේ ඉන්ධන සඳහා සහන නොදෙන බව. එහෙම කිව්ව ජනාධිපතිවරයා පසුගියදා පැවැති ජනහමුවකදී කිව්වා තවත් මාස 03 ක කාලයකට ඉන්දන සඳහා සහන පැකේජයක් හඳුන්වා දෙනවා කියලා. ඒත් එහෙම කියලා දවස් දෙක, තුනකට පස්සේ ආයෙත් ඉන්දන මිල ඉහළ දාන්න ආණ්ඩුවට සිදුවුණා. ජනාධිපතිවරයා උදේ කියන දේ රෑට වෙනස් කරනවා, අද කිව්ව දේ හෙට වෙනස් කරනවා. මේ අයට පැහැදිලි වැඩපිළිවෙලක් නෑ. නිශ්චිතව ගත්තු තීන්දු තීරණත් නෑ. එදාවේල ටුවස් වගේ වැඩක තමයි ආණ්ඩුව නිරත වෙලා ඉන්නේ. ජනාධිපති රටේ ජනතාවට මොන බොරුව කිව්වත්, මේක තමයි ඇත්ත. ස්ටේජ්ගානේ සුරංගනා කතා කිව්වට, ඒවා මහපොලොවේ කරන්න බෑ. එහෙම කරන්න පුලුවන් ටීම් එකක් මේ ආණ්ඩුවෙත් නෑ.”

 

මැදි ආදායම් ප්‍රභවයන් ගැන අවිනිශ්චිතතාවක්...

WhatsApp Image 2026 10 04 at 11.42.09 AM

මහාචාර්යවරයා අවධාරණය කළේ මධ්‍ය කාලීන ආදායම් මාර්ග බිදවැටීමේ තත්ත්වය තුළ එය රටේ අනාගත ආර්ථික පදනමට හානිකර තත්ත්වයක් විය හැකි බවය.  වාහන ආනයනය මත පනවා ඇති අසීමිත බදු හේතුවෙන් 2025 - 2026 කාලසීමාවේ රාජ්‍ය ආදායම ඉහළ ගියා, ඒක බුබුලක් ඒක කොයි වෙලාවේ පුපුරයිද දන්නේ නෑ. ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යන්න දිගුකාලීන ක්‍රියාමාර්ගයක් මේ රජයට නෑ. ඒ නිසා ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අනුගමනය කරන දිගුකාලීන ක්‍රමවේද ගැන IMF එකට උත්තර බැඳින්න ආණ්ඩුවට සිදුවෙලා. මේවාට නිවැරදි උත්තර නැති නිසා තමයි 7 වෙනි සමාලෝචනය අතරමග ඇණහිටියේ. ඒ නිසා තමයි සජිත් ඇතුළු අපි සමස්ත සාර්ව ආර්ථික දත්තවලින් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් හැමදාම අවශ්‍යයි කියලා යෝජනා කළේ. අපි ඒක කට වචනයට සීමා කරලා නෑ. අපි ඒක ලිඛිතව මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත ඉදිරිපත් කරලා තියෙනවා.”

 

ආණ්ඩුව පොහොසත් - ජනතාව දුප්පත්..

WhatsApp Image 2026 10 04 at 1AM

මේ අතර මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර කාලීන දේශපාලන වැඩසටහනට බ්‍රහස්පතින්දා එක්වෙමින් ඉතා වැදගත් තර්ක කිහිපයක් මතු කළේ ය.

“මුල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක වැඩසටහනේ විශ්ලේෂණවලදී සලකා බලා තිබෙන්නේ රාජ්‍ය අදායම, ආර්ථික වර්ධනය වගේ තාක්ෂණික කරුණු ගැන විතරයි. මානුෂීය හා සාමාජිය පැතිකඩ ගැන ඒකෙදී කිසිම අවදානයක් යොමු කරල නෑ. විපක්ෂ නායකතුමා IMF නියෝජිතයින් හමුවූ අවස්ථාවේ ඒ අඩුපාඩුවත් පෙන්වා දුන්නා.”

ඉතිහාසය පුරා මෙරට බදු ආදායම් වර්ධනය වූයේ ජනතාවගේ ආදායම්වල වර්ධනයට සාපේක්ෂව බවත්, එහෙත් වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවගේ ආදායම්වල කිසිදු වර්ධනයක් සිදුව නොමැති පසුබිමක පවා, සෑම අංශයකින්ම බදු ඉහළ නැංවීමේ දැඩි පීඩාකාරී ක්‍රියාමාර්ගවල ආණ්ඩුව නිරතව සිටින බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ඔහු අවධාරණය කළේ, සුරතලයට ඇති කරන බල්ලන්ට පවා බද්දක් අය කිරීමට සැරසීමෙන් ආණ්ඩුව මේ සිදුකරමින් යන්නේ. ජනතාව තවත් පීඩාවට පත්කිරීමක් බවය.

“ජනතාවගේ ආදායම තවමත් තියෙන්නේ 2019ට පෙර තිබුණ මට්ටම්වල. ඉතිං ඇත්තටම ‘ආණ්ඩුව පොහොසත් - ජනතාව දුප්පත්’ ඒත තමයි මහපොලොවේ ඇත්ත. ඒත් ඒක විකෘතියක්. මේක ජනතාවට තවත් දරාගන්න අමාරුයි.”

 

සූර්ය බලශක්තිය අඩපන කරන මාෆියාව...

WhatsApp Image 2026 10 04 at 11.4 AM

‌මේ අතර ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වෙමින් සූර්ය බලශක්ති ව්‍යාපෘති අඩපණ කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සජිත් රටට කරුණු කියා සිටියේ මීට බොහෝ කලකට පෙර සිටය.

ඒ පිළිබඳ අඛණ්ඩ මැදිහත්වීමේ තවත් පියවරක් ලෙස සජිත් පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට ගොස් මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් ඇතුලු නිලධාරීන් හමුවී සජුවම කරුණු විමසීය.

“රජයේ බලධාරීන් අත්තනෝමතික විදිහට නෙට් මීටරින් නෙට් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්‍රමවේදය ඉදිරිපත් කරමින්, ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට විශේෂ අනුග්‍රහයක් ලබාදෙමින් ඉන්න බව දැන් මහපොළොවේ පේන්න තියෙනවා. නමට පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළත් ක්‍රියාවට නංවන්නේ ඒක නෙමෙයි. සූර්ය බලශක්තිය හරහා මෙගවොට් 2500ක් නිපදවීමෙන් රු.බි.25ක් ඉතිරි කරන්න පුලුවන්. ඒත් බොරු තර්ක ඉදිරිපත් කරමින් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම අත්තනෝමතික විදිහට අත්හිටුවීට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල රටට කරන ද්‍රෝහිකමක්.”

සජිත්ගේ මෙම කරුණු දැක්වීම නිසා කිසිවක් කර කියා ගත නොහැකිව කොමිසමේ නිලධාරීන් නිරුත්තර වූ අයුරුද දැකගත හැකි විය.

 

ඇත්ත සඟවන ආණ්ඩුවේ පච ගෙතිල්ල...

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයට සම්බන්ධ විද්වතුන් පිරිසක් හදිසියේ කැඳවා රටට මුහුණදීමට සිදුව ඇති සහ ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එහිදී බොහෝ දෙනෙකු පෙන්වා දුන්නේ දුප්පත්කම, නැතිබැරිකම විශාල සමාජ පීඩනයක් බවට පත්වෙමින් ඇති බවය. මේ වන විට දරාගත හැකි මට්ටම ඉක්මවා යමින් එම තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බව පැවැසූ විද්වත් වෘත්තිකයින් පෙන්වා දුන්නේ, මෙහි අධිවර්ධනයක් සිදු වුවහොත් සමාජයේ දැවැන්ත පිපිරීමක් සිදුවීමට වුවද ඉඩ ඇති බවය.

WhatsApp Image 2026 10 04 at 11.42.10 AM

එහිදී සජිත් අවධාරණය කළේ, පැරණි දත්ත ඉදිරිපත් කරමින් මාලිමා රජය මේ සමාජයටත්, ජාත්‍යන්තරයටත් සිදුකරමින් යන වංචාව අතිශ්‍යය භයානක බවය.

“ලෝක බැංකුවට අනුව අපේ රටේ දුප්පත්කම 65.4%ක් දක්වා වැඩිවෙලා. ඒත් මෙහෙම දත්ත රජයේ නෑ. සුබසාධන කප්පාදුව නිසා අපේ රටේ ගෘහ ඒකකවලින් 33%ක් බරපතළ ආහාර අනාරක්ෂිතභාවයට ලක්වෙලා කියලා ජාත්‍යන්තරය පවා කියනවා. 2028 වෙද්දී ඒක 63.4%ක් දක්වා ඉහළ යන්න පුලුවන් කියලා තමයි ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ. ඒත් මේ ආ‍ණ්ඩුවයි මහබැංකුවයි බොරු වාර්තා ඉදිරිපත් කරමින් සුන්දර චිත්‍රයක් මවා පානවා ලස්සන රටක් - පොහොසත් ජීවිතයක් කියලා. ඒත් ජනතාව දිනෙන් දින දුප්පත් වෙනවා.”

ආණ්ඩුව ඉදිරිපත් කළ වාර්තාවේ සමාජ ආර්ථික තත්ත්වයන්ට පදනම් කරගෙන තිබෙන්නේ 2016 - 2019 කාලයට අයත් දත්ත බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස, අවධාරණය කළේ, රු.17,315කින් පුද්ගලයෙකුට දින 30ක් ජීවත්විය හැකි බව පවසමින් ආණ්ඩුව තවදුරටත් සමාජය ඇන්දවීමට උත්සාහ කරමින් සිටින බවය.

“සර්...ලෝක බැංකුව මේ විදියට අනතුරු අඟවා තිබියදී රජය මේ තරම් බොරු කරන්නේ ඇයි? අපි මේ ගැන රටට කියන්න අවශ්‍යයි. අපි රට වටේ ගිහින් හරි මේ ගැන ජනතාව දැනුවත් කරමු.” එම අවස්ථාවේ රැස්ව සිටි විද්වතුන් සහ වෘත්තිකයිනි පිරිස එක හඬින් එලෙස ප්‍රකාශ කළ අතර ඒ සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කිරීමට ද යෝජනා විය.

 

දුක නිවෙන්න පොඩි කාලයයි...

WhatsApp Image 2026 10 04 at

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසකගේ විශේෂ හමුවක් පසුගිය 30 වැනිදා කොළඹදී පැවැත්වුණි.

22 ට එරෙහි 24 විරෝධතාවයෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට ලැබුණු මෙම අවස්ථාව කොළඹ නියෝජිතයින්ට අගනා අවස්ථාවක් විය. මෙම හමුවේදී සංවිධාකයින් සජිත්ට කියා සිටියේ දැන් දැන් ජනතාව සත්‍ය තේරුම් ගනිමින් සිටින බවය.

“සර්, දැන් මිනිස්සු අවදිවෙලා. දැන් මිනිස්සුන්ට මේ ආණ්ඩුව කරන්නේ බොරුවක් බව තේරුම් ගිහින්. දැන් බොහෝ අය අපි එක්ක එකතුවෙන්න කතා කරනවා. ඒක හොඳ තත්ත්වයක්. මේකට ලොකු හේතුවක් වුණේ 22ට එරෙහි 24 අපි කරපු විරෝධය. ඒකට ආපු සෙනගෙන්ම මේ ආණ්ඩුවේ පිරිහීම මිනිස්සුන්ට තේරුම් ගිහින් තියෙන්නේ.” අයෙක් එහෙම කියද්දී තිස්ස සහ හර්ෂ ද එය අනුමත කලේය.

“ජනතාවට තව ලොකු කාලයක් දුක්විදින්න වෙන්නේ නෑ. අපි දැන් දිනන ගමනට ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන්නේ වේගයෙන් ඉදිරියට යන එක. ඇත්තම කියනවා නම් මේ ආණ්ඩුවට ආර්ථික පරිවර්තනයක් කරන්න තියා ඒ ගැන හිතන්නවත් මිනිස්සු නෑ. පියවරෙන්, පියවර ඉදිරියට යන වැඩපිළිවෙලක් නැතුව මේ රට හදන්නත් බෑ. රටට තියෙන එකම විකල්පය සජිත් ඇන්ඩ් ටීම් තමයි.”

හර්ෂ එහෙම කියද්දී සියල්ලෝම ඔල්වරසන් දුන්නේ අසුන්වලින්ද නැගිටිමිනි.

 

දරුවන්ට ආදරෙන්...

WhatsApp Image 2026 10 04 at 11.42. AM

දැඩි ඇල්මකින් දරුවන් ගැන වෙනස්ම අයුරකින් සිතන, ස්මාට් ලෝකයට ශ්‍රී ලාංකේය සියළු දරුවන් කැඳවාගෙන යන්නට සිහින දකින සජිත්ට තරම් දරුවන් ගැන කතා කරන්නට මේ රටේ කිසිවෙකුට හැකියාවක් නැත. රාජ්‍ය බලයක් නොමැතිව දරුවන් වෙනුවෙන් ඔහු කළ කී දේ ජනතාව හොඳින්ම දනී. ආර්ථික අර්බුදය හමුවේ පීඩනයෙන් සිටි දූ දරුවන් වෙනුවෙන් ඔහු උපකාර කළේ පියෙකු ලෙසිනි. සක්වල ස්මාට් පන්තිකාමර වැඩසටහන ක්‍රියාවට නංවමින් අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන අපේම දරුවන් වෙනුවෙන් සජිත් ස්මාට් ලෝකයක් තැනීය.

එමෙන්ම හුස්ම වැඩසටහන හරහා ග්‍රාමීය රෝහල්වල සෞඛ්‍ය පහසුකම් නංවාලීම හරහා සජිත් මේ රටේ වැඩිහිටි ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරලීමට කැපවිය.

එවැනි නායකයෙකුට ඔක්තොම්බර් 01 වැනිදා මේ රටේ අනාගතය භාරගන්නා දු දරුවන් මෙන්ම රට වෙනුවෙන් දහඩිය වැගිරූ වැඩිහිටියන් ද අමතක වන්නේ නැත.

ඔහු මුහුණු පොතේ අපූරු සටහනක් තැබිවේය…

“අධ්‍යාපනය යනු වෘත්තිමය කුසලතාවක් මෙන්ම යහපත් පුරවැසියකු නිර්මාණය කිරීමේ අභිලාෂය මුදුන් පමුණුවන වැඩපිළිවෙළකි. ළමයා වෙනුවෙන් සුදුසු අනාගතය ගොඩනගන්නට නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ යුතු ය. වෙනස්වන සමාජය තුළ ගොඩනැගෙන ආකල්ප තුළින් ළමයා මෙන්ම වැඩිහිටියා සුරක්ෂිත කිරීම සඳහා නව මානයකින් යුතුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුය.”

ඔවුන් වෙනුවෙන් සජිත්ගේ ආදරය ප්‍රකාශ වූයේ එලෙසය.

 

මම | බංගලා හන්දියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න