Image

කියවන පොත් අනුව පාඨක ප්‍රජාව නිශ්චය කළ හැකි ද…?

කියවන පොත් අනුව පාඨක ප්‍රජාව නිශ්චය කළ හැකි ද…?

පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ දුටු ඇතැම් පෝස්ට් සහ කමෙන්ට් කිහිපයක් කියවද්දී මට සිතුණේ, අපේ සමාජයේ කියවීම පවා අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීමේ මෙවලමක් බවට පත්වෙමින් තිබේ ද? යන්නයි.

“ඔයාලා පොත් ගන්න ස්ටෝල්වල සෙනඟනෙ. අපි පොත් ගන්න ඒවාට යන්නෙ අපි වගේ තෝර බේරගත්ත අය විතරයි.”

“අපි කියවන පොත් ඉතින් ඔයාලා කියවන පොත් වගේ ඉක්මනට කියවන්න බෑ.”

මෙවැනි ප්‍රකාශ කරන්නන්ගේ ගැටලුව ඇත්තේ ඔවුන් කියවන පොත් ප්‍රබුද්ධ ද, සම්භාව්‍ය ද, ශාස්ත්‍රීය ද යන්න තුළ නොවේ. ගැටලුව ඇත්තේ කියවීමෙන් තමන් උසස් බවත්, අනෙක් පාඨකයා පහත් බවත් පෙන්වීමට උත්සාහ කිරීම තුළ යි.

 

කියවීම යනු නිහඬවම ඇරඹුණු ගමනකි

සමහර පාඨකයන් ගෙ පෝස්ට් අධ්‍යනය කරන්න. තෝරාගත් ප්‍රකාශන ආයතන එකක දෙකක පොතක් එළියට එන වාරයක් වාරයක් පාසා පෝස්ට් එකක් දානවා. ඇත්තටම ඒ පොත් එළියට එනකොට ප්‍රකාශකයා පුළුල් ප්‍රචාරයක් දෙනවා. ලේඛකයත් එහෙම කරනවා. හැබැයි ඒක දිගින් දිගටම කිරීම අපි අවබෝධ කරගන්න ඕනි ඔහුගේ සිතුවිලි එක්ක.

ප්‍රබුද්ධ සාහිත්‍ය කියවීම හොඳ දෙයකි. සම්භාව්‍ය කෘති කියවීම හොද පුරුද්දකි. දර්ශනය , ඉතිහාසය , සමාජ විද්‍යාව , විද්‍යාව , මනෝ විද්‍යාව යනාදි ශාස්ත්‍රිය ක්ෂේත්‍රවල පොත් කියවීම මිනිසකු ගේ චින්තනය පුළුල් කරයි. එහෙත් එවැනි පොත් පමණක් කියවන බව ප්‍රදර්ශනය කිරීම ඔහුගේ හෝ ඇයගේ කියවීමේ උසස්භාවයට සාක්ෂියක් නොවේ. කියවීම යනු පොත් රාක්කයක ඇති පොත්වල නම අනුව තමන්ගේ සමාජ තත්ත්වය ප්‍රකාශ කිරීමක් නොවේ. කියවීම යනු ගමනකි; නිහඬවම ඇරඹුණු ගමනකි. එම ගමනේ පළමු පොත කුමක්දැයි කිසිවෙකුට තීරණය කළ නොහැකි ය. අවසාන පොත කුමක්දැයි කිසිවකුට විනිශ්චය කළ නොහැකි ය.

 

කියවන්නකු ගොඩනැගුණු ගමනේ කොටස්

පාඨකයා උපදින්නේ නැත. ඔහු නිර්මාණය වන්නෙකි. එය ඉබේ නිර්මාණය වන්නක් නොවේ. ඔහු නිර්මාණය වන්නෙ කාලය හරහා අත්දැකීම්වලිනි. පාඨකයෙකුගේ කියවීමේ පුහුණුව බොහෝ විට ආරම්භ වන්නේ ඔහුගේ සාහිත්‍ය රුචිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති අවධියකිනි.

ළමයා මුලින්ම කියවන්නේ තමන්ගේ වයසට, කුතුහලයට සහ පරිකල්පනයට ගැළපෙන පොත්පත් ය. මගේ කියවීමේ අත්දැකීම උදාහරණයක් ලෙස ගෙන කියන්නම්.

ළමා කාලයේ මඩොල් දූව, කල්ලන්දූවේ මුතු කොල්ලය, අඹ යහළුවෝ යනාදි ළමා කෘති සමග ශර්ලොක් හෝම්ස් කතා කියවූ අවධියක් තිබුණි. ඒවා කියවූයේ “මම අනාගතයේ සම්භාව්‍ය සාහිත්‍යය කියවන පාඨකයෙකු විය යුතු ය” යන අදහසකින් නොවේ. කතාව රස වූ නිසා ය; රහසක් විසඳෙන තුරු ඇති වූ කුතුහලය නිසා ය; චරිත සමඟ ගමන් කිරීමට ඇති ආශාව නිසා ය. පසුව පාසල් අවධියේ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශිත කෘති සමග යොවුන් නවකතා කියවීම ආරම්භ වුණා. සුජීව ප්‍රසන්නආරච්චි, එඩ්වඩ් මල්ලවාරච්චි, චන්දි කොඩිකාර, යෞවන සමීන්ද්‍ර රත්නායක යනාදි ලේඛකයන් ගේ කෘති ඒ කියවීමේ ලෝකයේ කොටස් බවට පත්වුණා. විරාගය වැනි කෘති ද ඒ සමයේ කියවුණි. ඒ අතර තවත් කියවීම් තිබුණි. සමාජය “හොඳ සාහිත්‍ය” යන ලේබලය නොදමන, හොරෙන් විකිණූ අසභ්‍ය හෝ කාම සාහිත්‍යයට අයත් ප්‍රකාශන පවා අසීමිතව කියවූ කාලයක් මට තිබුණා. ඒ කියවීම් සියල්ල අද එකම සාහිත්‍යමය මට්ටමක තබන්න බෑ. එහෙත් ඒ සියල්ල ම කියවන්නකු ගොඩනැගුණු ගමනේ කොටස් ලෙස මම සලකනවා.

 

කියවීමේ පරාසය වෙනස් වී ඇති බවට සාක්ෂි

කියවීමේ රුචියත් වයස සමග වෙනස් වෙනවා. යොවුන් වියේ දී අපට ආදර කතා අවශ්‍ය වුණා. අපි ඒවා ලුහු බැන්දා. වික්‍රමාන්විත කතා, රහස් පරීක්ෂක කතා, වීර කතා, ත්‍රාසජනක කතා අපව ආකර්ෂණය කරා. එහෙත් ජීවිතය වෙනස් වන විට කියවීමත් වෙනස් වෙනවා. ඇත්තට ම එහෙම වුණා. අත්දැකීම් වැඩිවෙනවා. අපි ආදරය හඳුනා ගත්තා; විරහව හඳුනා ගත්තා; ඒක වින්දා. අපි දැන් මරණය, අහිමිවීම, දේශපාලනය, බලය, පංතිය, අසාධාරණය, තනිකම, වයසට යාම සහ මනුෂ්‍ය සම්බන්ධතාවල සංකීර්ණත්වය යම් තරමකට හෝ හඳුනාගත් මිනිස්සු. දැන් අපි කලින් කියවූ පොතක් නැවත කියවන විට එය වෙනස් පොතක් මෙන් දැනෙන්නට පුළුවන්. ඇත්ත වශයෙන් ම වෙනස් වී ඇත්තේ පොත නෙවෙයි. වෙනස් වී ඇත්තේ පාඨකයා ය; ඒ අපි ය.

අද යොවුන් නවකතාවක් අපට නොගැළපෙන්නට පුළුවන. එය එම නවකතාවේ වරදක් නොවේ. බොහෝවිට එය අපේ කියවීමේ පරාසය වෙනස් වී ඇති බවට සාක්ෂියකි. අද අපට ඊයේ අපව කම්පනය කළ කතාවක් බොළඳ යැයි පෙනෙන්නට පුළුවන. එහෙත් එදා එය අපට අවශ්‍යම වූ පොතක්.

 

බොළඳ පාඨකයා කවුද…?

මෙතැනදී අපි වැදගත් ප්‍රශ්නයක් ඇසිය යුතු ය.

යොවුන් නවකතාවක් කියවන මිනිසෙකු පීචං පාඨකයෙක් ද…?

ආදර නවකතාවක් කියවන කෙනෙකු බොළඳ පාඨකයෙක් ද…?

ජනප්‍රිය සාහිත්‍ය කියවන අය සහ සම්භාව්‍ය සාහිත්‍ය කියවන අය අතර උසස් හෝ පහත් පන්තියක් තිබිය යුතු ද…?

නැත; කිසිසේත්ම නැත.

කෘතියක් විචාරය කළ හැකි ය. එහි භාෂාව, ආඛ්‍යානය, චරිත නිරූපණය, තේමාව, මනෝවිද්‍යාත්මක ගැඹුර, සමාජ දෘෂ්ටිය සහ කලාත්මක සාර්ථකත්වය පිළිබඳ විවේචනය කළ හැකි ය. එහෙත් කෘතියක් පිළිබඳ විවේචනයක් සහ එය කියවන මිනිසා පිළිබඳ අවමානයක් එකම දෙයක් නොවේ.

 

කියවීම යනු අවසානයක් නොව පරිණාමයකි

“ මේ නවකතාවේ කලාත්මක ගුණය සීමිතයි ” යන්න සාහිත්‍ය විචාරයකි.

“ මේ පොත කියවන අය බොළඳයි ” යන්න පාඨකයාට ලේබලයක් ඇලවීමකි.

එවැනි ලේබල් කිරීමෙන් සිදුවන්නේ සාහිත්‍ය සංවාදය පුළුල් වීම නොව, කියවීම සමාජ තත්ත්ව ප්‍රදර්ශනයක් බවට පත් කිරීමයි; සැබෑ පාඨකයාගේ රාක්කයේ සීමා නැත. සැබෑ කියවන්නකුට එක ම රාක්කයක විවිධ ලෝක තිබිය හැකි ය; එහි ළමා සාහිත්‍ය තිබිය හැකි ය; යොවුන් නවකතා තිබිය හැකි ය; ජනප්‍රිය නවකතා තිබිය හැකි ය; සම්භාව්‍ය කෘති තිබිය හැකි ය; ලෝක සාහිත්‍යය තිබිය හැකි ය; දර්ශනය තිබිය හැකි ය; ඉතිහාසය තිබිය හැකි ය; විද්‍යාව තිබිය හැකි ය; දේශපාලනය තිබිය හැකි ය; කවිය තිබිය හැකි ය; අපේම ජීවිතය තේරුම් ගැනීමට නොහැකි වූ දිනක කියවූ ඉතාම සරල නවකතාවක් පවා තිබිය හැකි ය. මන්ද කියවීමේ වටිනාකම සෑම විටම පොතේ සමාජ වටපිටාවෙන් මැනිය නොහැකි බැවිනි.

සමහර පොත් අපට දැනුම ලබා දෙයි.

සමහර පොත් අපට භාෂාව ලබා දෙයි.

සමහර පොත් අපට පරිකල්පනය ලබා දෙයි.

සමහර පොත් අපට අපවම හඳුනාගැනීමට ඉඩ සලසයි.

තවත් සමහර පොත් අපට කියා දෙන්නේ අප තවමත් කොතරම් නොදන්නා මිනිසුන් ද යන්නයි.

 

පුද්ගලයකු ගේ පොත් රාක්කය දෙස බලා ඔහු ගේ හෝ ඇය ගේ බුද්ධිමය මැනිය හැකි ද…?

කෙනෙක් අද සරල ආදර නවකතාවක් කියවන්නේ නම්, ඔහු හෙට දොස්තයෙව්ස්කි , ටෝල්ස්ටෝයි , මාර්කේස් කියවිය නොහැකි බවට ඉන් ප්‍රකාශ වන්නේ නැත. අද කෙනෙක් ළමා සාහිත්‍යයෙන් ආරම්භ කරන්නේ නම්, ඔහුගේ කියවීම එතැනින් අවසන් විය යුතු නැත. එසේම අද කෙනෙක් සම්භාව්‍ය කෘති කියවනවා නම් , එයින් ඔහු ගේ කියවීමේ පරිණාමය අවසන් වූ බවක් ද ප්‍රකාශ නොවේ. පාඨකයකු ගේ සැබෑ උස තීරණය වන්නේ ඔහු කියවන පොත්වල නම්වලින් නොව, ඒ පොත් කියවීමෙන් ඔහු තුළ සිදුවන වෙනස නිසා ය; ඇතුළාන්තයේ වෙනස නිසා ය. පොතක් කියවා අවසන් වූ පසු අප තවත් මිනිසකු දෙස වෙනස් ආකාරයකින් බැලීමට ඉගෙන ගත්තේ නම්, එම කියවීම අපට යමක් ලබා දී ඇත. අපේම අදහසක් ප්‍රශ්න කිරීමට හැකි වූයේ නම්, එය කියවීමේ ප්‍රතිඵලයකි. අප නොදන්නා ලෝකයක් තේරුම් ගැනීමට උත්සාහ කළේ නම්, එය කියවීමේ ජයග්‍රහණයකි. අවසානයේ, පාඨකයා පුහුණු වන්නේ “හොඳ පොත්” පමණක් කියවීමෙන් නොවේ. ඔහු පුහුණු වන්නේ විවිධ පොත් හරහා ගමන් කිරීමෙනි.

ළමා කතාවෙන් යොවුන් නවකතාවටත් , ජනප්‍රිය සාහිත්‍යයෙන් සම්භාව්‍ය සාහිත්‍යයටත් , කතාවෙන් දර්ශනයටත් , පරිකල්පනයෙන් යථාර්ථයටත් ගමන් කරන විට ඔහුගේ රසඥතාව, විනිශ්චය, ප්‍රශ්න කිරීම සහ අවබෝධය වර්ධනය වේ; පුළුල් වේ.

ඒ නිසා කෙනකුගේ පොත් රාක්කය දෙස බලා ඔහුගේ බුද්ධිමය උස මැනීමට පෙර අප අපෙන් ම ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.

අපි කියවන්නේ පොත් ද…?

නැත්නම් අපි කියවන්නේ, අන් අයට “අපි කියවන පොත්” පෙන්වීමට ද…?

සැබෑ පාඨකයා පොත් කියවයි.

ප්‍රදර්ශනකාමියා පොත් පෙන්වයි.

මේ දෙක අතර වෙනස තීරණය කරන්නේ පොත නොවේ. එය තීරණය කරන්නේ කියවීමෙන් පසු මිනිසා තුළ සිදුවන පරිණාමය යි.

 

chathuranga

 

 

 

සටහන - නීතිඥ චතුරංග අමරතුංග

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න