පසුගිය සතියේ (2026.09.28 - 2026.10.02) මෙරට අධිකරණයේ ප්‍රධාන අවධානයට ලක්වූ නඩු තීන්දු, නියෝග සහ විමර්ශන ප්‍රගතීන් පිළිබඳ සංෂිප්ත විග්‍රහයක් මෙම විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එයි.
01)විදෙස් කාන්තාව ගණිකා වෘත්තියේ යෙදවූ ත්‍රිරෝද රියදුරාට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

විදේශ සිට මෙරට රැකියා පොරොන්දු දී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන්නා, ඇයව බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ලාංකික ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000 ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත් (02) දා නියෝග කළා.
2)ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

අධිකරණයේ පෙනී නොසිටි ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක ඉකුත් (28)නියෝග කළා.
සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් ගොනුකළ පැමිණිල්ල විභාග කිරීමේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළා.
3) බන්ධනාගාරයේ මරණ තර්ජන ගැන කෙහෙල්බද්දර පද්මේ කියයි!

" ස්වාමිනි ,මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා. වැලිසර බන්ධනාගාරයේ නිසි ආරක්‍ෂාවක් නැහැ. මරණ තර්ජන තියෙනවා. නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා" යනුවෙන් ප්‍රබල පතාල කල්ලි නායකයෙක් බව කියන කෙහෙල්බද්දර පද්මේ ඉකුත්(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉල්ලා සිටියා.
4)ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ හතරවැනි සැකකරු ලෙස නම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක මුදලක් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන ලබා දුන් බව කියන සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හතරවැනි සැකකරු ලෙස නම් කරන බව අල්ලස් කොමිසම මෝෂමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර තිබෙනවා.
5)ශෂී වීරවංශට එරෙහි විදේශ ගමන් බලපත්‍ර නඩුව ලබන ඔක්තෝබර් මස 12 වන දින දක්වා කල් තැබේ.

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ඔක්තෝබර් 12 දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් (28) නියෝග කළා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022 මැයි 27 දින ලබා දුන් දඬුවම් නියෝගය කොළඹ මහාධිකරණය මගින් ස්ථිර කරමින් ලබා දුන් තීන්දුව කියවාදීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
6) ක්‍රිෂ් නඩුවේ 4 වැනි සැකකරු වූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරයට නියෝග
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉකුත් (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත්(28) බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
මෙම සිද්ධියට අදාලව නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන බව අල්ලස් කොමිසම මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබෙනවා.
7) එයාර් බස් ගනුදෙනුව: කපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇප තැබූ අරවින්ද ද සිල්වා ඇතුළු දෙදෙනාගේ ඇප රාජසන්තක වෙයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාල සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරිමට ඉකුත්(30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා එම සැකකාරියට අධිකරණයේ ඇප තබා තිබුණ අතර එම ඇප මුදල් රාජ සන්තක කරනු ලැබුවා.
මිලියන 20 බැගින් වු ශරීර ඇප දෙකක් මත සැකකාරිය ඇප මත මුදා හැර තිබුණා.
ඒ අනුව අද දින මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දන්වා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අද දින මිලියන 20 ක මුදල අධිකරණයට බාර දෙන ලෙසත් ඉතිරි මිලියන 20 ඇපය ඔක්තෝබර්17 වන දින ගෙවන ලෙසත් නියෝග කළා.
8)හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු 5 දෙනාගේ නඩුව නොවැම්බර් 25ට

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් පස් දෙනාට එරෙහි පවරා ඇති නඩුව නොවැම්බර් 25 යළි කැඳවිමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත්(30) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සිද්ධියට අදාළ පස්වන සැකකරු සමග අනෙක් සැකකරුවන් මෙම මංකොල්ලය සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ජා ඇතුලත් සී.සී.ටි.වි දර්ශන රස පරීක්ෂක වෙත යවා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා සිටියේ.
සිද්ධියට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර ඇතුලු සැකකරුවන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර තිබෙනවා.
9)පලෙයි එල්.ටී.ටී.ඊ. කඳවුර ගැන ව්‍යාජ පුවත් පැතිරවූ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට!

පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාලව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 7 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත්( 30) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
මෙම සිද්ධියට අදාල සැකකරුගේ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් සැකකරු ජාතික හැදුනුම්පත් 3ක් තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
10) එයාර් බස් නඩුව : නාමල් රාජපක්ෂට කොටුවෙන් ඇප!

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත්(30) නියෝග කළා.
සැකකරුට මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදෙස් ගමන් තහනම් කළා.
ලක්ෂ 5 බැගින් වු මුදල් ඇපයක්ද නියම කළා.
11) තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග!

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.
මෙම සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබු අතර එම දෙදෙනා සැකකාරියට පනවා තිබු වෙනත් නඩුවක ඇප තිබු අය බවත් මෙම නඩුවේ ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයා අදාල වරෙන්තුව නිකුත් කළා.
12) ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් වරෙන්තු

මාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් සිංහල ජනයා අතර අපහාසයක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව මාස 9ක සිරදඬුවම් නියම තිබෙන බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉකුත්(1) වරෙන්තු නිකුත් කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් සිරදඬුවම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනායක් ගොනු කර තිබුණා.
එම අභියාචනාය සම්බන්ධයෙන් මහාධිකරණය මගින් ලබා දුන් තීන්දුව අද (1) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කියවා දීමටයි නියමව තිබුණේ.
13) කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ලියු පොත් 8 ක් රස පරික්ෂකට!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලියන ලද පොත් 8 ක් රස පරික්ෂක යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම ඉකුත් (1) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද සටහන් පොත් 8ක් සොයා ගත් බවයි.
එම සටහන් පොත්වල අත් අකුරු පරීෂාවට රස පරික්ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
14) භාණ්ඩ ආනයනය මුවාවෙන් ඩොලර් පිටරට යැවු සිද්ධිය : සමාගම් පහක් ගැන විමර්ශන
සමාගම් පහකට අයත් රුපියල් බිලියන 24කට අධික මුදල් ප්‍රමාණයක් ගනුදෙනු කළ අවස්ථා 2844ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉකුත්(01) කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.
සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත සිටින සැකකරුවන් ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා .
15) බාන්ස් පෙදෙසේ ඉඩම් වංචාව: සැකකරුවන්ගේ අපේක්ෂිත ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේපයි
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූයේ යැයි කියන සැකකරුවන් තිදෙනකු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉකුත් (01)ප්‍රතික්ෂේප කළා.
සැකකරුවන් වන ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් මෙසේ ප්‍රතික්ෂේප කළා.
16) සෙව්වන්දි සහ පද්මේ රස පරික්ෂකට යවන්න : CCD ය අධිකරණයෙන් ඉල්ලයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාලව කෙහෙල්බද්දර පද්මේ සහ ඉෂාරා සෙව්වන්දි රස පරික්ෂක වෙත යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අවසර ඉල්ලා සිටියා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් විසින් පවසා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා අතර සිදුවු සංවාද සම්බන්ධයෙන් හඩ පඨ ඇතුළත් සි.ඩී පඨයක් මේ වන විට රස පරික්ෂක වෙත යොමු කර ඇති බවයි.
17) 5000 ක අල්ලසක් ගත්තැයි සීදුව පොලිසියේ පි.සී රිමාන්ඩ්
සීදුව ප්‍රදේශයේ සිදු වු රිය අනතුරුකදී අගතියට පත් පාර්ශවයට නඩු නොදා රියදුරු බලපත්‍රය ලබ දීමට රුපියල් 5000/= ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුතෟ (2) නියෝග කළා.
සිද්ධියට අදාල කඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
18) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත්(2) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනුරුව මෙලෙස නියෝග කළා.
ඒ සැමියාගේ සිරදඬුවම ලිහිල් කර ගැනීමට සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් දුන් සිද්ධියට අදාළව අල්ලස් ගැනීමට අනුබල දුන් චෝදනාවට මෙලෙස අත්අඩංගුට ගෙන තිබුණා.
19)ක්‍රිෂ් ගනුදෙනුවේ ඉන්දීය අධ්‍යක්ෂවරුන් දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුව සම්න්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව එම ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම ඉකුත් (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ ඉල්ලා සිටියා.
ඒ සිද්ධියට අදාළව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියකු අධිකරණයේ සාක්ෂි කුඩුවේදී සාක්ෂි ලබා දෙමිනි.
නමුත් එම ඉල්ලන ලද වරෙන්තුව මේ අවස්ථාවේදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
20) භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව: තාක්ෂණික වාර්තාව ලැබෙන තෙක් විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 16ට!
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාලව තාක්ෂණික කමිටුවේ වර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත්(30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්වා සිටියා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් ඒ බව දන්වා සිටියා.
ඒ අනුව සිද්ධියට අදාලව විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 16 වන දින අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
21) හිටපු ඇමැති උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
දීර්ඝ අඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.
ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණා.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර හැකි යොදාගෙන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.
22) ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් (29) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ඉන්දියාවේ රජය විසින් මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල අශුද්ධ මුදලක් වැය යොදවා ඇති බවයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ බී වර්තාවේ ඒ බව දන්වා තිබේද යන්නයි.
ඉදිරි දින ඒ සම්බන්ධයෙන් කරුණු බි වර්තාවකින් ඉදිරිපත් කරන බව දැන්වු සහකාර අධ්‍යක්ෂ නිතිවරිය පවසා සිටියේ ඉන්දියාවේ MLA මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවයි.
තවද සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක් වු සහකාර නිති අධ්‍යක්‍ෂකවරිය මෙලෙස පවසා සිටියා.
" ස්වාමීනි නාගරික සංවර්ධන අධිකාරිය අසාමාන්‍ය වේගයෙන් ක්‍රිෂ් ගොඩනැගිල්ල පවරා දීමට කටයුතු කරලා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වගකීව යුතුයි විදේශිය සමාගමක් හරහා මෙවැනි ව්‍යාපෘති කරනවානම් මුදලේ වටිනාකම සම්බන්ධයෙන්.
" ස්වාමීනි, රුපියල් මිලියන 35 ක මුදලක් අවස්ථා දෙකක දී නිමල් පෙරේරා හරහා මෙම සැකකරු බාර ගෙන ඇති බවට අනාවරණය වෙනවා. රාජ්‍ය ආයතන අසාමාන්‍ය වේගයෙන් කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීම සිදු වන අවධියේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ගෝඨාභය රාජපක්ෂ UD එකේ ලේකම් ලෙස කටයුතු කර තිබෙනවා. එම දෙදෙනාම මෙම සැකකරුගේ බාප්පා බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
තවද මෙම සිද්ධියට අදාල ඉක්මනින් විමර්ශන අවසන් කර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කිරීමට ද අපේක්ෂා කරනවා. යනුවෙන් අල්ලස් කොමිසම පවසා සිටියා.
තවද මහ බැංකුව විසින් මිලියන 150ක මුදලක් මෙම ගොඩනැගිල්ල්ට යොදවා ඇති අවස්ථාවක දී මෙම ගණුදෙනුව සිදු කළ ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරිය අධිකරණයට දන්වා සිටියේ.
23) එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් කොමිසමේ නඩුවට අදාළව නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කරන ලද විමර්ශනයකට අදාලවද නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන 13 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
24) යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
සිද්ධියට අදාල නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා
එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කළා.
රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
25. හෙරොයින් ළඟ තබාගත් තිදරු මවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් හතරයි දශම අනූවක (4.90) ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා දෙකකට වැරදිකාරිය කළ තිදරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අද (02) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමම කළාය.
මොහොම ජාහිර් පාතිමා රිසානා හෙවත් ධම්මි නැමති එම විත්තිකාරිය 2022. 08. 19 වැනිදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ තණ පටය යට මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටියදී බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවිය දැක් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය එම චෝදනා දෙකටම වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් නියම කළාය.
තිදරු මවක් වන ඇය එම දරුවන් තිදෙනා සහ වයෝවෘද්ධ මව රැකබලා ගැනීමට සිටිනා එකම තැනැත්තිය වන බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී බවත් යම් හෙයකින් එකී අති විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණය සමාජයට මුදා මුදා හැරමට ඇයට හැකි වූයේ නම් ඉන් සමාජයට සිදුවිය හැකිව තිබූ හානිය සුළුපටු නොවනා බවත් මේ වන විට මත්ද්‍රව්‍ය නිසා පාසල් දරු දැරියන් තරුණ තරුණියන් ඇතුළු සමස්ත ජන සමාජයටම සිදුව ඇති ව්‍යයසනය සලකා බලා පනත අනුව ඇයට ලබාදිය යුතු උපරිම දඬුවම වන මරණීය දණ්ඩනිය නියම කරන ලෙස පැමිණිල්ල මෙහෙය වූ රජය අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනෙහි අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
විත්තිකාරිය ඇයට දරුවන් සිටින බව කල්පනා කළ යුතුව තිබුණේ එවැනි සමාජය විනාශයට පත්කරන මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමට පෙර වන්නේ ඇයි ද අධිකරණයට පෙන්වා දුන් නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණය දඬුවම් නියම කිරීමේදී සැලකිල්ලට ගත යුතුව ඇත්තේ විත්තියට බලපාන එවැනි අවශේෂ කරුණු නොවෙයි ජාවාරම මගින් සමාජයට සිදුවන ඉතා බරපතල හානිය බවත් ඒ බව 1995 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් මගින් ලබා දී ඇති මාර්ගෝපදේශ කෙරෙහිද අවධානය යොමු කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කෙසේ නමුත් එම විත්තිකාරියට එරෙහිව පෙර වැරදි නොමැතිවීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරිය එලෙස විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කලාය.
26) ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තු
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කළා.
ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා.
ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන් වුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
