ජනාධිපති අනුර කුමාර දිසානායක යනු පුංචිම පුංචි මිනිසෙකු බව දැන් රටටම හෙළිවෙමින් ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ නියෝජිතයින්ද රට වටේ යමින් අනුර පොඩි මිනිසෙකු බව පෙන්වීමට උත්සාහ කරමින් සිටින බවයි. එහෙත් තමන්ට අනුර පොඩි මිනිසෙකු බව කියන්නට වෙනස්ම අර්ථ නිරූපණයක් ඇති බවද ඔහු අවධාරණය කළා. තිස්ස අත්තනායක මේ බව පැවැසුවේ කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේ අද(05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තිස්ස අත්තනායක එහිදී මෙරට අතීත රාජ්‍ය නායකයින් සහ අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා අතර සන්සන්දනයක් සිදු කරමින් කරුණු දක්වනු ලැබුවා.
“කොතරම් විවේචන තිබුණත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය මේ රට වෙනුවෙන් යම් අරමුණක් ජයග්‍රහණය කරවීමට ස්ථාවර ප්‍රතිපත්තියක සිට කටයුතු කළා. ඇය ආහාරවලින් රට ස්වංපෝෂිත කර, සංවෘත ආර්ථිකයක් ඇති කරන්න ගත්ත උත්සාහය ඒ අතරින් කැපී පෙනෙනවා. ඒ වගේම නොබැදි ජාතීන්ගේ සමුලුව පවත්වමින් රටට ලෝකය හමුවේ නැගී සිටින්න නව ජවයක් ලබාදුන්නා. ජේ.ආර්. යුගය ගත්තම වහල තිබුණු ආර්ථිකය ලෝකයට විවෘත කරලා රටේ දැවැන්ත විප්ලවයක් සිදුකළා. කඩිනම් මහවැලිය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්, විදුලි බලය ලබාදුන්නා, වගාවට ජලය දුන්නා. උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබූ ආර්ථික අපහසුකම් වලින් යුතු පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ජයගන්න මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වලා දුන්නා. නව ව්‍යවස්ථාවක් හදුන්වා දුන්නා. ඒවා මේ රටේ පරිවර්ථනීය ලොකු වැඩසටහන්. ප්‍රේමදාස යුගය තුළ දුප්පත් ජනතාව නගාසිටුවීම වෙනුවෙන් ජනසවිය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඇගළුම් කර්මාන්ත 200 වැඩපිළිවෙල වගේම නොමිලේ පාසල් නිල ඇදුම් ලබාදීම, උදාගම්මාන ව්‍යාපෘතිය වගේ බොහෝ දේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළා. චන්ද්‍රිකා මැතිණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළා. ජාතික ප්‍රශ්නය විසඳුම් ලබාදෙන්න බරපතල තීන්දු තීරණ ගන්න මැදිහත් වුණා. ඒ වගේම සමෘද්ධි වගේ ව්‍යාපෘති ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ යුගයේදී වසර තිහක යුද්ධය අවසන් කළා. අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරායවල් වගේ දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. රනිල් වික්‍රමසිංහ බිමට වැටී තිබූ රට යළි ගොඩගත්තා. මේ නායකයින් තමන්ගේ සැලසුම් ආරම්භ කරන්න බල බල හිටියේ නෑ. මුල් අවුරුද්ද දෙක යද්දී ඒවා ආරම්භ කළා. ඒත් වර්තමාන ජනාධිපතිවරයා මොනවද කරන්නේ? රනිල් ඔසවා තිබ්බ තැන ඉඳන්වත් ඉස්සරහට අරන් යන්න මේ ජනාධිපතිවරයාට බැරිවෙලා තියෙනවා. අපි අනුර පොඩියි කියන්නේ ඒ දෘෂ්ඨිකෝණයෙන්. හිටපු නායකයින් එක්ක සැසදීමේදී ඇත්තටම අනුර කියන්නේ පුංචිම පුංචි නායකයෙක්.”
මේ අතර බලයට පත්වීමට ප්‍රථම ඉන්දන මිල කැපී පෙනෙන ලෙස අඩුකරන බවට පොරොන්දු ලබාදුන් ආණ්ඩුව, දැන් මැදපෙරදිග අර්බුදයට මුවාවී බොරු දත්ත ඉදිරිපත් කරමින් තෙල්මිල විශාල ලෙස ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව පැවැසූ අත්තනායක මහතා, ඉන්දන මිල තීරණය කිරීමට යොදාගන්නා මිල සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.
බිලියන ගාණක් ණය අරන් මොකද කළේ..?
“ මේ ආණ්ඩුව අවුරුදු දෙකට දේශීයව විතරක් රුපියල් බිලියන 19,000ට වඩා ණය අරගෙන තියෙනවා. ඒ වගේම විදේශීයව ඩොලර් මිලියන 740ක් ණය අරන් තියෙනවා. මොනවටද මේ ණය ගත්තේ. ඒ මුදල් වියදම් කළේ මොනවටද ? අපි දැක්කා මහින්දගේ වසර 09ක කාලයට වඩා අනුර ප්‍රමුඛ මාලිමා අණ්ඩුවේ වසර දෙක තුළ දූෂණ, වංචා හා හොරකම් සිදුවෙලා තිබෙනවා කියලා මාධ්‍යවේදි කුසල් පෙරේරා පසුගිය දවසක කියල තිබුණා. මේක බරපතල චෝදනාවක්. ආණ්ඩුව මේ ගැන වහාම රටට තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි.”
මේ අතර ජනතාව මත අසීමිත බදු බරක් පටවමින්, ආහාර ද්‍රව්‍ය, ඉන්දන, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුලු සෑම දෙයකටම අධික මිලක් පනවා ඇති ආණ්ඩුව ඔන්ලයින් කැසිනෝ වැනි වැනි සූදු බදුවලින් නිදහස් කරමින් ධනපතියන්ගේ අවශ්‍යතා ඉටුකරන තත්ත්වයකට පත්ව ඇති බවද තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නා.
වසර දෙකයි රටට සුබයි කියමින් රට වටේ යමින් සිටින ආණ්ඩුව සැබෑ තත්ත්වය වසන් කරමින් ජනතාව මුලා කරමින් සිටියත්, රටේ දුප්පත්කම 65.5% දක්වාද දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 21%ක් දක්වාද විරැකියාව 43%ක් දක්වාද ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකුව පෙන්වාදී ඇති බවයි අත්තනායක මහතා අවධාරණය කළේ. දිළිඳුකම තුරන් කිරීමට කිසිදු සැලසුමක් ආණ්ඩුවට නැති බව කියා සිටි ඔහු එවැනි තත්ත්වයක් තුළ ජනගහනයෙන් 33%ක් ආහාර හිඟයකට මුහුණ දී සිටින බවත්, රත්රන් උගස් කරමින් ජනතාව කුසගිනි නිවා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් පෙන්වා දුන්නා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
