Image

IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්!

IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.

ඒ අනුව මෙම එකඟතාවට IMF විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක (SDR මිලියන 254) මූල්‍ය වාරිකය නිදහස් වනු ඇත.

ප්‍රධාන කොන්දේසි දෙකක්!

මෙම නව වාරිකය මුදාහැරීමත් සමඟ වත්මන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලැබූ මුළු මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළ යයි.

කෙසේ වෙතත් විධායක මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා ප්‍රධාන කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බව IMF නියෝජිත පිරිස පෙන්වා දෙයි.

ඉන් පළමුවැන්න නම් වැඩසටහනේ මූල්‍ය පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. දෙවැන්න වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය තහවුරු කෙරෙන මූල්‍ය සහතික සමාලෝචනය නිමකිරීමයි.

 

අඛණ්ඩව කාර්තු 11ක් ආර්ථිකය ඉදිරියට

අඛණ්ඩ බාහිර කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ සඳහන් කළේය.

2026 වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 4.2ක වර්ධනයක් සනිටුහන් කර ඇති අතර, එය අඛණ්ඩව වර්ධනය වාර්තා කළ 11 වැනි කාර්තුව ලෙස සටහන් වේ.

මීට අමතරව 2026 සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 8ක තනි ඉලක්කමක පවත්වාගෙන යාමට හැකිවී තිබේ. අගෝස්තු අවසන් වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ශක්තිමත් වී ඇත.

 

මැදපෙරදිග අර්බුදය සහ ගෝලීය අවදානම්

ආර්ථිකය යහපත් ප්‍රවණතාවක පැවතියද ජාත්‍යන්තර මට්ටමේ අවදානම් කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ අවධානයක් යොමු කර තිබේ.

විශේෂයෙන්ම මැදපෙරදිග යුද ගැටුම් දිග්ගැස්සීම, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල සිදුවන වෙනස්කම් සහ එල්නිනෝ කාලගුණ බලපෑම ඉදිරි ආර්ථික ගමනට තීරණාත්මක බලපෑම් එල්ල කළ හැකිය.

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියහොත්, දේශීය මිල ගණන්ද පිරිවැය ආවරණය වන පරිදි සංශෝධනය විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එවැනි අවස්ථාවක අඩු ආදායම්ලාභී ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවත් සමාජ ආරක්ෂණ සහනාධාර ලබාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න