පාසල් 1000ක් සදහා ෆයිබර් ඔප්ටික් සබඳතා

පාසල් 1000ක් සදහා ෆයිබර් ඔප්ටික් සබඳතා

කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සාමාන්‍ය අධ්‍යාපනයට කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම සඳහා පාසල් විෂය මාලාවට එය ඇතුළත් කිරීම මෙන් ම එය නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල්වල ඉගැන්වීම ආරම්භ කිරීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය හා මයික්‍රොසොෆ්ට් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක් ව මෙම යෝජනාවට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2022 වර්ෂයේ අග භාගයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී නිව්යෝක් නුවර සිටියදී මයික්‍රොසොෆ්ට් ආයතනයේ උපසභාපතිවරයා හමු වී පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරු ව අද දක්වා අඛණ්ඩ ව ඔවුන්ගෙන් ලද සහාය මත මෙම නියමු ව්‍යාපෘතිය පාසල් 20ක ක්‍රියාවට නැංවීමටත් එම විෂය ඉගැන්වීමට අදාළ සම්පත්දායකයන් ලෙස ගුරුවරුන් 100කට අධික ප්‍රමාණයක් පුහුණු කිරීමට අවශ්‍ය අනුග්‍රාහකත්වයත් එම ආයතනයෙන් ලබාගැනීමට හැකි වූ බවයි. මෙම විෂය මාලා සංවර්ධනය වෙනුවෙන් විශ්වවිද්‍යාල නියෝජිතයන්ගේ මෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ විද්වත් සම්පත් දායකත්වය ලබාගත් බව ද හෙතෙම පැවසී ය. එසේ ම 2025 වර්ෂය වන විට මෙම ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් සමස්ත පාසල් පද්ධතිය තුළ ම ක්‍රියාවට නංවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කී ය. එය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ දියත් කර ඇති නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලිය හා සමගාමී ව ක්‍රියාත්මක කරන බවත් පර්ෂද පාසල් 1200කට අවශ්‍ය ෆයිබර් ඔප්ටික් සම්බන්ධතා ලබා දීමට අදාළ මූලික පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසී ය. අධ්‍යාපන පරිවර්තනයේ පළමු පියවර වන පරිපාලනමය ප්‍රතිසංස්කරණ හා විෂයමාලා සංවර්ධනය සිදු කෙරෙමින් පවතින අතර ලබන සතිය වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සූදානමින් සිටින බව ද එය 1, 6 සහ 10 ශ්‍රේණිවලින් ආරම්භ වන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

පාසල් 1000කට ෆයිබර් ඔප්ටික් සබඳතා ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියනක මුදලක් ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇති බවත් විදුලි සන්දේශ නියාමන අධිකාරිය එහි වැඩ බොහෝ දුරට අවසන් කර ඇති බවත් මෙහි දී පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධ ව මෙම ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ක්‍රියා කරන බව ද කී ය. විශේෂ සහයෝගයක් ලබා දෙමින් මේ අවස්ථාවට පැමිණ සිටි මයික්‍රොසොෆ්ට් ඉන්දියා සහ දකුණු ආසියානු සභාපති පුනීත් චන්දොකට ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේ ය.

ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ ඩිජිටල් අධ්‍යාපන ප්‍රවණතාවක් වී ඇති කෘත්‍රීම බුද්ධිය වත්මන් ගෝලීය සමාජ ආර්ථික ජීවන රටාව මෙන් ම වෘත්තීය ක්ෂේත්‍රය ද අතික්‍රමණය කර ඇති පසුබිමක පාසල් වියේ සිට ම ලාංකික සිසු සිසුවියන්ට ද කෘත්‍රීම බුද්ධිය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ලබන මෙම සාධනීය පියවරට සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා එමගින් නව ලොව ප්‍රවණතා හමුවේ අභියෝග ජයගත හැකි නිපුණතා සහිත තරුණ පරපුරක් වශයෙන් සිසු පරපුර සවිමත් කරලීමත් රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගෙන් ඵලදායී දායකත්වයක් ලබාගැනීමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව පැවසී ය.

අමෙරිකානු තානාපති ජූලි චංග්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් යන මහත්ම මහත්මීන් සහ මයික්‍රොසොෆ්ට් ආසියානු කලාපීය අධ්‍යාපන සාමාන්‍යාධිකාරී ලැරී නෙල්සන් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී ව සිටියහ. මෙම ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ශ්වයෙන් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අත්සන් තැබූ අතර මයික්‍රොසොෆ්ට් ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හර්ෂ රන්දෙණිය මහතා විසින් අත්සන් කරන ලදි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.