මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට ගෙන ඒමට සැලසුමක්

මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට ගෙන ඒමට සැලසුමක්

නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එහිදී මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද (22) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිනි.

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.

පාඨමාලා පැවැත්වෙන පන්ති කාමර වෙත පැමිණ සිසුන්ගේ අධ්‍යාපන සහ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලූ ජනාධිපතිවරයා සිසුන් සමඟ කෙටි කථාබහකට එක්වෙමින් ඔවුන් නැඟු ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දුන්නේය.

නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඇති අවස්ථාව පිළිබඳ තරුණයෙකු මතු කළ ප්‍රශ්නයට පිළිතුර දුන් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට වේගවත් ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවත් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්ය.කෙසේ වෙතත් දිනෙන් දින වෙනස් වන නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පැවසීය.

පෙර පාසල් පාඨමාලාව වැඩිදුර හදාරා තමන්ගේම පෙර පාසලක් පවත්වාගෙන යාමට අපේක්ෂාවෙන් පසු වන බවත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් මෙහි පෙර පාසල් පාඨමාලාව හදාරන සිසුවියක විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ පෙර පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේධීර, ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන භාර නිලධාරි බී. එම්. රනිල්, සහකාර නිලධාරි සුමිත් ප්‍රියශාන්ත යන  සහ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න