Image

කැබිතිගොල්ලෑව; ඛේදවාචකයෙන් විසි වසරකට පසු

කැබිතිගොල්ලෑව; ඛේදවාචකයෙන් විසි වසරකට පසු

කැබිතිගොල්ලෑව යැයි ගමක් ගැන, කවුරුවත් එතරම් දැන සිටියේ නැත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු සීමාවට වන්නට පිහිටි කැබිතිගොල්ලෑව මුළු රට ම හඳුනාගන්නේ ලොව ම කම්පාවට පත් කළ එක් ඛේදනීය සිදුවීමක් නිසාය.

ඒ, 2006 ජුනි මස 15වෙනි දා සාමාන්‍ය වැසියන් ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ, එල්.ටී.ටී.ඊ. ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය යි. එම බෝම්බ පිපිරීමෙන් බස් රථය සම්පූර්ණයෙන් ම වැනසී ගිය අතර, සිවිල් වැසියන් 60කට අධික පිරිසක් ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙසේ බිලි වූවන් ගෙන් බහුතරය තම දෛනික ජීවනෝපාය උදෙසා ගමන් කරමින් සිටි සාමාන්‍ය ගැමියන්, ගොවීන්, කම්කරුවන්, පාසල් සිසුන් සහ රාජ්‍ය සේවකයින් ය.

මෙම බෝම්බ ප්‍රහාරය ලාංකීය ඉතිහාසයේ දශක තුනක කුරිරු යුද්ධය තුළ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ දරුණුතම සහ ම්ලේච්ඡතම ප්‍රහාරවලින් එකක් ලෙස සනිටුහන්ව තිබේ. වසර විස්සක් (දශක දෙකක්) ගත වී ඇතත්, එදා ඒ බිහිසුණු උදෑසන පිළිබඳ මතකය, නොමැකෙන ලේ පැල්ලමක් සේ කැබිතිගොල්ලෑව යන නාමයට කාවැදී තිබේ.

නමුත්, වාර්ෂික සැමරුම් උත්සව, ගුණකථන දේශන සහ ඛේදවාචකයේ මතකයන්ගෙන් ඔබ්බට ගිය, මෙතෙක් බොහෝ දෙනකු ගේ අවධානයට ලක් නොවූ තවත් කතාවක් එහි සැඟව පවතී. ඒ, එදා එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ වින්දිතයන් ජීවත් වූ ගම්මානවල කතාවයි; යුද්ධයේ බර කරට ගත් මිනිසුන් ගේ සහ වසර විස්සකට පසුවත් එම ගම්මානවල වැසියන් අදටත් මුහුණ දෙන ජීවන යථාර්ථයේ කතාවයි.

 

මාරක ගමනේ බස් රථය සහ හුදෙකලා වූ ගම්මාන

කැබිතිගොල්ලෑව නගරයේ සිට වවුනියාව පාරේ කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යනවිට හමුවන පටු මාර්ගය, පදවිය පාරට සම්බන්ධ වෙමින් කිලෝමීටර් 21ක් පමණ දුරට විහිදී යයි. හල්මිල්ලෑව, යාකාවැව, ඉදිගොල්ලෑව, නිකවැව, හල්මිල්ලවැටිය, කනුගහවැව, තල්ගස්වැව සහ හේරත් මිල්ලෑව යන කුඩා ගම්මාන කිහිපයක්ම පිහිටා ඇත්තේ මෙම මාර්ගය දෙපසය.

මීට වසර විස්සකට පෙර, ශ්‍රී ලාංකීය යුද ඉතිහාසයේ ඛේදනීය සලකුණක් බවට පත් වූ ඒ බස් රථය මගීන් රැගෙන ගියේ ද මෙම මාර්ගයෙනි. එදා ඒ බිහිසුණු උදෑසන බස් රථයේ ගමන් කළ පිරිසෙන් බහුතරයක් යාකාවැව, හල්මිල්ලවැටිය සහ කනුගහවැව යන ගම්මානවල පදිංචිකරුවෝ වූහ. 

යකාවැව ප්‍රාථමික පාසල ඉදිරිපිට කඩයක් පවත්වාගෙන යන පද්මාවතී (62) ඇය ගේ මතක මෙසේ අවදි කළා ය.

පද්මාවතී

 “මගේ පුතා, මගේ මල්ලි, මගේ මහත්තයාගේ මල්ලි, නංගි, එයාල ගේ දරුවෝ, මගේ බාප්පා, බාප්ප ගෙ දරුවෝ ඔක්කොම නැතිවුණා. මහත්තයා විතරයි තුවාලත් එක්ක බේරුණේ. ඒ බෝම්බෙට පස්සේ ගමේ ගොඩක් අය ගම අතහැරලා ගියා. ගිහින් ගාමන්ට් එකක තමයි යුද්ධය ඉවර වෙනකම්ම හිටියේ.    

මේ කඩේ පුතා කරපු කඩයක්. එයා නැතිවෙනකොට වයස අවුරුදු විසිපහයි. ඊට පස්සේ මම දැන් කරගෙන යනවා. අපිට ඉතින් පාර වතුර ඔක්කොම හම්බුණා. නමුත් දරුවට වෙච්ච දේ ගැන තවමත් අපිට දුකයි. ඒක අමතක වෙන්නෙ නෑ. දරු දුක කවදාවත් අමතක වෙන්නෙ නෑ පුතේ…”

එදා 2006 ජුනි 15 වන විට ආරක්ෂක හේතු මත නිකවැව ගම්වැසියන් ගම අත්හැර යන්නට පටන් ගෙන තිබුණි. ඒ වන විට අවට ගම්මානවල වැසියන්ට මෙම බස් රථය යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවීය. එය හුදෙකලා වූ ගොවි ජනපද, කැබිතිගොල්ලෑව නගරයේ පිහිටි පාසල්, රෝහල්, වෙළෙඳපොළ සහ රාජ්‍ය ආයතන සමඟ යා කළ එකම ජීවනාලිය විය.

අද වන විටත් මෙම ගම්මාන, වැව් අමුණු, ලඳු කැලෑ සහ සරුසාර කුඹුරු යායවල් මැද සැඟවී පවතී. කනුගහවැව ගම්මානයේ වැසියන් තම පරම්පරාගත ඉතිහාසය පිළිබඳව කතා කරන්නේ මහත් අභිමානයෙනි. ඇතැම් ගැමියන් තමන් ශ්‍රී ලංකාවේ ආදිවාසී (වැද්දන්) ප්‍රජාව ගෙන් විශේෂයෙන් කුවේණි ගේ පරම්පරාවෙන් පැවත එන්නන් බව පවසන අතර, පවුල් කිහිපයක් තවමත් වසර ගණනාවක් තිස්සේ පැවත එන සම්ප්‍රදායික දඩයම් සිරිත් විරිත් සුරකිමින් ජීවත් වන බව ඔවුහු පවසති.

විශ්‍රාමික හමුදා නිලධාරියකු සහ ගමේ ගොවි සමිතියේ සාමාජිකයෙකු වන ඒ. චන්ද්‍රසේකර, ගමේ ඉතිහාසය ගැන මෙන්ම වර්තමාන ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද අප සමග අදහස් දැක්වීය.  

chandrasekaraiaඒ. චන්ද්‍රසේකර

“මේ ගමේ ගොඩක් අය හේන් ගොවිතැන් තමයි කළේ. නමුත් 2015ට පස්සේ මේ රක්ෂිත ඔක්කොම ගැසට් කළා. ඊට පස්සේ අපිට හේන් ගොවිතැන් කරන්න බැරි වුණා. ඒකත් එක්කම අලි ගමට එන්නත් පටන් ගත්තා. ෙඅපිට සත්තුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. අලි, මොනරු, රිලව් මේ ඔක්කොම සත්තු අපේ ගොවිතැන් විනාශ කරනවා. 

අනිත් කාරණාව තමයි අපිට බණ ටිකක් අහගන්න උපසම්පදා හාමුදුරු නමක් නැති එක. මේ ප්‍රදේශයේ ලොකු පන්සල වෙච්ච ‘හල්මිල්ලෑව සුළුගල් දඹුලු රජමහා විහාරය’ හරහා පන්සල් දාසයක් නඩත්තු වෙනවා. ඒ පන්සලේ නායක හාමුදුරුවට දැන් අවුරුදු 96 වෙනවා. අපිට හොඳ භික්ෂූන් වහන්සේ කෙනෙක් මේ පන්සලට දෙන්න පුළුවන් නම් ඒක ලොකුම කුසල කර්මයක්.”  

මෙම ප්‍රදේශය පුරාවිද්‍යාත්මක උරුමයෙන් ද පොහොසත්ය. ඓතිහාසික පදවිය වැවට ඉහළින් පිහිටි මෙම ගම්මාන අවට, අතීත ජනාවාසවල නටබුන් අදටත් තැනින් තැන විසිරී පවතී. යුද්ධය හේතුවෙන් මුළු රටේ ම අවධානය මේ දෙසට යොමු වීමට බොහෝ කලකට පෙර, සියවස් ගණනාවක සිට තමන් ගේ මුතුන් මිත්තන් මෙම භූමියේ ජීවත් වූ බව ගැමියන් සිහිපත් කරන්නේ සංවේදීව ය.

කෙසේ වෙතත්, දශක දෙකක් ගත වී තිබුණ ද, ගම්වාසීන් පවසන ආකාරයට මෙම ගම්මානවල මිනිසුන්ගේ ජීවිතය තවමත් ගැට ගැසී ඇත්තේ එදිනෙදා අත්‍යවශ්‍යම වන මූලික පොදු පහසුකම් සපුරා ගැනීමේ අරගලය සමග ය.

 

පාසල් ගමන සහ තවමත් නිම නොවූ ප්‍රවාහන අරගලය

busf

මේ වන විට මෙම ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පාසල් තුනක් ක්‍රියාත්මක වේ. යාකාවැව සහ කනුගහවැව යන ගම්මානවල ප්‍රාථමික විද්‍යාල පිහිටා ඇති අතර, හල්මිල්ලවැටිය විද්‍යාලයේ 11වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. කෙසේ වෙතත්, මෙම පාසල් තුනේම ඉගෙනුම ලබන්නේ සාපේක්ෂව සිසුන් සුළු පිරිසකි. යාකාවැව පාසලේ සිසුන් 39ක් ද, කනුගහවැව පාසලේ 107ක් ද, හල්මිල්ලවැටිය පාසලේ සිසුන් 96ක් ද වශයෙන් ලියාපදිංචි වී සිටිති.

උසස් අධ්‍යාපනය සහ වඩාත් හොඳ පහසුකම් සොයා මෙම සිසුන්ට කැබිතිගොල්ලෑව නගරයට යෑමට සිදු වේ. ඇත්ත වශයෙන්ම, බොහෝ දරුවෝ සිය සාමාන්‍ය පාසල් අධ්‍යාපනය සඳහා පවා දිනපතා නගරයට ගමන් කරති. ඔවුන්ගේ මෙම දෛනික ගමන සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින්නේ එකම එක ලංගම බස් රථ සේවාවක් මතය. ඒ, ප්‍රදේශවාසීන් අතර ‘845/3’ ලෙස ප්‍රකට කැබිතිගොල්ලෑව - තල්ගස්වැව බස් රථය යි.

2006 වසරේදී කුරිරු ප්‍රහාරයට ලක්වූයේ ද මෙම මාර්ගයේ ම ධාවනය වූ බස් රථයකි.

කනුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනුරතිලක, ගැමියන් මුහුණ දෙන මෙම දෛනික අරගලය විස්තර කළේ, පරිශ්‍රයේ සිට පාර දෙසට අත දිගු කොට, කැබිතිගොල්ලෑවේ සිට එමින් සිටි බස් රථය පෙන්වමිනි. 

"උදේට මේ බස් එක එනකොට මිනිස්සුන්ට ඒකට ගොඩවෙන්නත් ලොකු සටනක් කරන්න වෙනවා. පාසල් යන ළමයි, ඉස්පිරිතාලෙට යන ලෙඩ්ඩු, කඩපිළට යන මිනිස්සු, රැකියා කරන අය, රාජ්‍ය නිලධාරීන් වගේම සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් හැමෝම යන්නේ ඔය එකම බස් එකේ. ඇතුළේ හුස්ම ගන්නවත් ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ."

ඔහු පවසන පරිදි, පාසල් දරුවන් වෙනුවෙන් පමණක් වෙන්වූ ‘සිසු සැරිය’ බස් රථ සේවාවක් ලබාදෙන ලෙස ගැමියන් බලධාරීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා ඇත. අතීතයේ කෙටි කලක් එවැනි සේවාවක් ක්‍රියාත්මක වුව ද, පසුව එය නතර කර දමා ඇත.

ගම්මාන පුරා වෙසෙන දෙමාපියන් සහ පදිංචිකරුවන් කෙරෙන් දෝංකාර දෙන්නේ ද මෙම අඳෝනාව ම ය. වසර ගණනාවක් තිස්සේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ගමට පැමිණිය ද, තමන්ගේ දෛනික ජීවිතයට බලපාන වඩාත්ම දැවෙන ප්‍රශ්නය ප්‍රවාහන අපහසුතාව බව ඔවුහු පවසති.

මෙහි ඇති දෛවෝපගත උත්ප්‍රාසය (The Irony) අපට කිසිසේත් මඟහැර යා නොහැකි ය. 2006 බෝම්බ ප්‍රහාරය එල්ල වූ දවසේ ද මෙම මාර්ගයේ ධාවනය වූ බස් රථය තුළ මගීන් 120කට ආසන්න පිරිසක් අතුරු සිදුරු නැතිව තෙරපෙමින් ගමන් කරමින් සිටියහ. එදා ජීවිත හානි සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට ප්‍රධානතම හේතුවක් වූයේ ද බස් රථයේ තිබූ එම අධික තදබදය යි.

නමුත් ඛේදවාචකයෙන් වසර විස්සක් ගත වී ඇතත්, අදටත් සෑම උදෑසනක ම මේ මිනිසුන්ට සිදුවී ඇත්තේ එදා මෙන්ම තනි බස් රථයක් තුළ සිරවී තෙරපෙමින් ගමන් කිරීමට ය.

දැනට මෙම මාර්ගයේ ධාවනය වන බස් රථයේ ඇත්තේ ආසන 54කි. නමුත් එයින් සේවය සැලසිය යුතු ගැමියන් සංඛ්‍යාව සිය ගණනකි. සිසුන්ගේ සහ රැකියා සඳහා යන ජනතාව ගේ පීඩනය අවම කිරීම සඳහා අවම වශයෙන් උදෑසන කාලයේ තවත් අමතර බස් රථයක් හෝ ධාවනයට එක් කළ යුතු බව ප්‍රදේශවාසීහු තදින්ම කියා සිටිති.

පසුගියදා පාසල් වේලාව නිමවීමෙන් පසු කැබිතිගොල්ලෑව නගරයේ බස් නැවතුම්පොළට යන විට, තල්ගස්වැව බස් රථය එනතුරු පාසල් දරුවන් රොද බැඳී සිටිනු දැකගත හැකි විය. බස් රථය නැවතුම්පොළට ඇතුළු වෙද්දීම, දරුවන් අප සමඟ විස්තර කළේ දැන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇති මේ අමිහිරි අත්දැකීමයි.

schoolchildaiපාසල නිමවීමෙන් පසු කැබිතිගොල්ලෑව නගරයේ සිට නිවෙස් වලට යාම සඳහා ‘කැබිතිගොල්ලෑව - තල්ගස්වැව’ බස් රථයට නගින්නට උත්සාහ කරන සිසුන්.

 

"පෙරේදා හල්මිල්ලවැටියේ නංගිලා මල්ලිලා කිහිප දෙනෙකුට බස් එකට නැඟගන්නවත් බැරි වුණා, මොකද ඒ වෙනකොටත් බස් එක සෑහෙන්නටම පිරිලා තිබුණේ," එක් ශිෂ්‍යයෙක් පැවසීය. "මේ බස් එක නැත්නම් අපිට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. හැමදාම උදේට අපි එන්නේ මාර දුකක් විඳගෙන. ඉස්කෝලේ ළමයින්ට විතරක් වෙනම බස් එකක් තිබුණා නම් මේ වගේ පොරකන්නේ, තෙරපෙන්නේ නැතුව යන්න තිබුණා. නගරයට යන්න විනාඩි 40ක් විතර යනවා."

සෙනඟින් පිරීගිය බස් නැවතුම්පොළේ රැඳී සිටින ඒ දරුවන්ට ‘යුද්ධය’ යනු ඉතිහාසයක් පමණි. නමුත්, පාසලට යෑම සඳහා ඔවුන් දිනපතා කරන ‘අරගලය’ තවමත් ඉතිහාසයට එකතු වී නැත. එය වර්තමානයකි.

 

රංජිත් කුමාර; මතකයේ බර කරට ගත් මිනිසා

කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ලියැවුණු, කියැවුණු සෑම කතාවක ම පාහේ අනිවාර්යයෙන් ම සඳහන් වන එක් නමක් තිබේ. ඒ නම, රංජිත් කුමාර ය.

කැබිතිගොල්ලෑව - තල්ගස්වැව බස් මාර්ගයේ අවසාන නැවතුම්පොළට ගිය අප, ඔහු පිළිබඳව විමසූ විට එහි සිටි රියදුරකු පැවසුවේ ඔහු පසුගිය වසරේ දී (2025) සේවයෙන් විශ්‍රාම ගිය බවයි. ඉන්පසු ගැමියෝ අපට ඔහුගේ නිවසට යන මාර්ගය පෙන්වූහ.

වසර ගණනාවක් තිස්සේ විවිධ Youtube සාකච්ඡා සහ පුවත්පත් වාර්තා හරහා අප දුටු ඒ ක්‍රියාශීලී මිනිසා නොව, අද එහි සිටින්නේ හාත්පසින්ම වෙනස් අයෙකි.

ranjith kumaraai2රංජිත් කුමාර -  බස් රථයේ හිටපු කොන්දස්තරවරයා

ගැමියන් අතර සරලව ම "රංජි අයියා" ලෙස ප්‍රකට රංජිත් කුමාර, අද සිය කාලය ගත කරන්නේ ඇඳක් සහ පුටු කිහිපයක් පමණක් ඇති කුඩා කාමරයක තනිවම ය. දරුණු දියවැඩියා තත්ත්වයකින් පෙළෙන ඔහුට අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. සෑම සතියකම ඉන්සියුලින් ලබා ගැනීම සඳහා ඔහුට වවුනියාව රෝහලට යාමට සිදුවේ. සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීමත් සමග ඔහු ගේ දෛනික ජීවිතය ගෙවීම ද අතිශය දුෂ්කර වී ඇත.

මීට වසර විස්සකට පෙර, එනම් 2006 ජුනි 15 වැනිදා, ඒ මාරක බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස සේවය කළේ මේ රංජි අයියා ය. ඉන්පසු ගෙවී ගිය වසරවල දී, එම බිහිසුණු ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදීන්ට, වාර්තා චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ රටටම විස්තර පැවසූ ප්‍රධානතම සාක්ෂිකරුවා වූයේ ද ඔහු ය. එදා බෝම්බ පිපිරීම, මියගිය සංඛ්‍යාව සහ ඉන්පසු ඇතිවූ දේශපාලන පෙරළි ගැන රටේ බොහෝ දේ ලියැවුණ ද, වින්දිතයන් පැමිණි ගම්මාන සහ ඉන්පසු ඔවුන් සිය ජීවිත ගොඩනගා ගත් ආකාරය ගැන අවධානය යොමු වූයේ ඉතා අඩුවෙනි. රංජි අයියා ගේ වත්මන් ජීවිත කතාවෙන් නිරූපණය වන්නේ ද එම අමිහිරි යථාර්ථයයි.

ප්‍රහාරයෙන් පසුව ද ඔහු වසර ගණනාවක් තිස්සේ සේවය කළේ එම බස් මාර්ගයේ ම ය. අවසානයේ දී, උත්සන්න වූ අසනීප තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දී, එනම් වයස අවුරුදු 50 දී ඔහුට සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදු විය.

අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින් මෙන් නොව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සේවකයන්ට විශ්‍රාම වැටුපක් හිමි නොවේ. ඔහුට සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) ප්‍රතිලාභ හිමි වුව ද, ඒවා ලබාගත හැක්කේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවය. මේ නිසා, දැඩි රෝගී තත්ත්වයකින් පෙළෙන ඔහු, මේ වන විට සිය ජීවිතය ගැටගසා ගන්නේ පවුලේ අයගේ දැඩි කැපවීම සහ උපකාර මත ය.

එදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඔහු ගේ හිතමිතුරන්, නෑදෑයන් සහ අසල්වැසියන් පනස් දෙනෙකුට වඩා මියගියේ ඔහු ගේ දෑස් ඉදිරිපිට දී ම ය. ඔහු සමග එදා සේවය කළ බස් රථයේ රියදුරු ද එතැනම මියගියේ ය. ප්‍රහාරයෙන් රංජි අයියා ද බරපතළ තුවාල ලැබූ අතර, පිපිරීමෙන් පසු ඇති වූ දැඩි නොසන්සුන්කාරී සහ අවුල්සහගත වාතාවරණය මධ්‍යයේ ඔහුව ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ගොස් තිබුණි.

අප ඔහු සමග මේ අනතුර ගැන හෝ වෙනත් කිසිදු බාහිර සිදුවීමක් ගැන සාකච්ඡා කිරීමට ගියේ නැත. ඔහුගේ සුවදුක් පමණක් විමසා ආපසු හැරුණෙමු. සහෝදරියගේ නිවසෙන් ආහාර ලැබෙන බවත් මව තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

මිනිසෙකු මෙවැනි බිහිසුණු මතකයන් වසර විස්සක් තිස්සේ හදවතේ දරාගෙන ජීවත් වන්නේ කෙසේද? මුළු මහත් ගම්මානයක් ම ඒ මතක සමඟ ඉදිරියට යන්නේ කෙසේද?

 

අමතක වූ ගම්මාන සහ අත්හැර දැමූ මතක

අනතුරුව අප ගියේ කැබිතිගොල්ලෑව ලංගම ඩිපෝව වෙත ය. එම අවස්ථාවේ දී අපට එහි ඩිපෝ කළමනාකරු ආර්. නලීම් හමු විය.

ඩිපෝ පරිශ්‍රයේ පිටුපස, බොහෝ දෙනෙකු ගේ දෑස්වලට නොපෙනෙන සේ සඟවා තබා ඇති එක්තරා ඛේදනීය මතකයක් තිබේ. ඒ, 2006 ජුනි ප්‍රහාරයට ලක්වූ ඒ මාරක බස් රථයේ ඉතිරි වූ සැකිල්ලයි. වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් දිරාපත් වෙමින් පවතින මෙම බස් රථය, මේ බිමෙහි ලියැවුණු අඳුරුතම ඉතිහාසයක නිහඬ සාක්ෂිකරුවකු ලෙස අදටත් එහි ඉතිරිව ඇත.

කැබිතිගොල්ලෑව - තල්ගස්වැව මාර්ගයේ පවතින අධික මගී තදබදය පිළිබඳ ගැටලුව ඩිපෝ කළමනාකරු ද පිළිගත්තේය.

"උදේ කාලයේ දී මේ බස් එකේ පුදුම සෙනඟක් යන්නේ. විශේෂයෙන්ම සායන (Clinics) පැවැත්වෙන දවස්වලට, මගීන් සංඛ්‍යාව තවත් වැඩියි," ඔහු පැවසීය.

ඔහුට අනුව, මීට පෙර පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ උදෑසන බස් රථයක් ඩිපෝව මඟින් ධාවනය කර තිබුණි. කෙසේ වෙතත්, එම සේවාව සඳහා යොදවා තිබූ බස් රථය මේ වන විට කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර ඇත.

"නියමිත අලුත්වැඩියා කටයුතු අවසන් කරලා ඒ බස් එක ආපහු ආපු ගමන්, දරුවන් වෙනුවෙන් තිබුණු ඒ විශේෂ බස් සේවාව අපි නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

දැනට මෙම මාර්ගයේ ධාවනය වන්නේ දිනකට ගමන් වාර හතරක් ක්‍රියාත්මක වන, දිනකට කිලෝමීටර් 190ක් පමණ ගෙවා දමන එක ම එක බස් රථයක් පමණි.

ප්‍රහාරයට ලක්වූ බස් රථය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් වූ විවිධ යෝජනා පිළිබඳව ද ඩිපෝ කළමනාකරු මතකය අවදි කළේය.

"විවිධ කණ්ඩායම් එක එක අදහස් අරගෙන අපට කතා කළා. සමහරුන්ට ඕන වුණා මේ බස් එක වෙනත් තැනකට ගෙනිහින් සංරක්ෂණය කරන්න. තවත් සමහරු යෝජනා කළා මේක ස්මාරකයක් විදිහට ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කරන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එක්තරා සංවිධානයක් සමඟ ඇවිත් යෝජනා කළා ප්‍රහාරය එල්ල වූ ස්ථානයේම මේ බස් රථය යොදාගෙන ස්මාරකයක් හදන්න. සාකච්ඡා ගොඩක් පැවැත්වුණත්, ඒ එක සැලසුමක්වත් ඇත්තටම ක්‍රියාත්මක වුණේ නැහැ,"

එහි ප්‍රතිඵලයක් ලෙස, වසර ගණනාවක් තිස්සේ ඒ බස් රථය තවමත් තිබෙන්නේ ඩිපෝව පිටුපස අතහැර දමා ඇති තැනම ය.

හිටපු කොන්දොස්තර රංජිත් කුමාර පිළිබඳව ද සඳහන් කළ නලීම්, ඔහු අසනීප තත්ත්වය හේතුවෙන් විශ්‍රාම ගිය බව තහවුරු කළේ ය. ඔහුට හිමිවිය යුතු විශ්‍රාම ප්‍රතිලාභ සහ වෛද්‍ය දීමනා ලබා දී ඇති බව පැවසූ ඔහු, ඒ හා සම්බන්ධ ලේඛන ද අපට පෙන්වී ය.

 

සංවර්ධනයේ මිරිඟුව සහ බිඳ වැටුණු සමාජ වටපිටාව

මෙම ගම්මාන පුරා සැරිසරමින් එහි පාසල් දරුවන්, ගුරුවරුන් සහ ගම්වාසීන් මුණගැසී සාකච්ඡා කිරීමේ දී අපට පෙනී ගිය ප්‍රධානතම කරුණක් වූයේ, වසර ගණනාවක් තිස්සේ මෙහි විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුව ද, එම කිසිදු වැඩසටහනකින් ජනතාව ගේ සැබෑ ජීවන තත්ත්වය උසස් වී නොමැති බවයි.

බොහෝ පාසල් දරුවන්ට සිය අනාගතය පිළිබඳව නිශ්චිත අධ්‍යාපන ඉලක්කයක් නොමැති අතර, තම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුය යන හැඟීම හෝ උනන්දුව දෙමාපියන් තුළ ද දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙම අවාසනාවන්ත යථාර්ථය අප හමුවේ පැහැදිලි කළේ දැඩි කනස්සල්ලෙනි.

"මේ ඉස්කෝලවල ඉගෙන ගන්න ළමයි ඉන්නවා, හැබැයි ප්‍රමාණය හරිම අඩුයි. දරුවන්ව අධ්‍යාපනයට උනන්දු කරවන්න දෙමව්පියන්ට ලොකු වුවමනාවක් නැහැ. පොත්පත්, සපත්තු, නිල ඇඳුම්වල ඉඳන් හැමදේම නොමිලේ හම්බෙන නිසා ළමයින් ගෙ අධ්‍යාපන වියදම් ගැන දෙමව්පියන්ට ලොකුවට බරක් දැනෙන්නෙත් නැහැ. අද දවස කොහොමහරි සතුටින් ගත කරන්න විතරයි මේ පළාතේ ගොඩක් අය බලන්නේ. අනාගතේ ගැන බලාපොරොත්තුවක් නැති නිසා, ත්‍රීවීල් එකක් නැත්නම් බයික් එකක් ගන්න  එක විතරක් තමන්ගේ ජීවිතේ ලොකුම හීනය කරගත්ත ළමයි මේ ගම්වල ඉන්නවා. ඒක ඇත්තට ම කනගාටුදායක තත්ත්වයක්," එක් විදුහල්පතිවරයෙක් පැවසුවේ ය.

අධ්‍යාපනික පසුබෑමට අමතරව, මෙම ප්‍රදේශයේ පවුල් සංස්ථා ආශ්‍රිතව බරපතළ සමාජ ගැටලු රැසක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම පියා ගේ රැකවරණය අහිමි වූ, තනිවම දරුවන් හදා වඩා ගන්නා මව්වරුන් (Single Mothers) වෙසෙන පවුල් සංඛ්‍යාව මෙම ගම්මානවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

මීට අමතරව, ගම්මානවල වෙසෙන පිරිමි පාර්ශවයෙන් බහුතරයක් තවමත් සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන අතර, ඔවුන් රාජකාරි නිමවා ගමට පැමිණෙන්නේ මාසයකට වරක් වැනි කෙටි කාලයකටය. අනෙක් අතට, ප්‍රදේශයේ තරුණ පරම්පරාව දැඩි ලෙස මත්පැන් සහ විවිධ ව්‍යසනලට ඇබ්බැහි වෙමින් සිටින අතර, එය සමස්ත ගම්මාන පුරාම දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

පසුදින අප කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් එහි සංවර්ධන නිලධාරීන් ඇතුළු වගකිවයුතු පිරිස සමග මෙම ගම්මානවල පවතින අර්බුද පිළිබඳව සාකච්ඡා කළෙමු. එම නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට, යුද්ධය නිමා වූ පසු මෙම ප්‍රදේශය නගා සිටුවීම සඳහා සැලකිය යුතු මට්ටමේ ආධාර සහ උපකාර ලැබී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව, 2006 වසරේ සිදුවූ ඒ බිහිසුණු බෝම්බ ප්‍රහාරයේ පසුබිම හේතුවෙන්ම මෙම ගම්මාන වෙත වැඩි අවධානයක් යොමු වූ බව ඔවුහු පවසති.

රාජ්‍ය අංශය පමණක් නොව, විවිධ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. නමුත් ගැටලුව වන්නේ, එම කිසිදු ව්‍යාපෘතියක් දිගුකාලීන තිරසාර සැලැස්මකින් තොරව, හුදෙක් 'කෙටි කාලීන ව්‍යාපෘති' ලෙස පමණක් ක්‍රියාත්මක වී අවසන් වීමයි. ජනතාව ගේ ආකල්පමය වෙනසක් හෝ ආර්ථික ස්ථාවරත්වයක් ඇති නොකර, එවැනි සැලසුම් රහිත ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, අද වන විට මෙම ප්‍රදේශ වඩාත් සංකීර්ණ සමාජීය හා ආර්ථික ගැටලු රැසක ගොදුරක් බවට පත්ව තිබීමයි.

 

ගැඹුරට මුල් විහිදුණු ගැටලු

අප මෙම ගැටලු සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (BCIS) ජ්‍යෙෂ්ඨ පර්යේෂක, ආචාර්ය අමාලි වෙදගෙදර සමඟ සාකච්ඡා කළෙමු. එහි දී ඇය මේ තත්ත්වය වඩාත් පුළුල් ආර්ථිකමය කෝණයකින් විග්‍රහ කළා ය.

21 Unresolved 03

 

 

 

 

 

 

(BCIS) ජ්‍යෙෂ්ඨ පර්යේෂක, ආචාර්ය අමාලි වෙදගෙදර

"වියළි කලාපයේ ජනතාව සාම්ප්‍රදායිකව තමන් ගේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ලෙස නිරත වුණේ ගොවිතැන, මිරිදිය ධීවර කර්මාන්තය හෝ වෙනත් කුඩා පරිමාණයේ ස්වයං රැකියාවලයි. නමුත් යුද්ධය ආරම්භ වීමත් සමග ම, මේ සාම්ප්‍රදායික ජීවනෝපායන් බිඳ වැටී ඔවුන්ව යුද්ධය මතම යැපෙන 'සේවා ආර්ථිකයක්' (War-related Service Economy) වෙත බලහත්කාරයෙන් තල්ලු කෙරුණා. ඒ අනුව, බොහෝ තරුණ තරුණියන් සොල්දාදුවන් ලෙස සෘජුව ම යුද පෙරමුණට එක් වෙද්දී, යුද්ධයට මායිම්ව ජීවත් වීම නිසා ඇතිවූ දැඩි අනාරක්ෂිතභාවයට පිළියමක් ලෙස බිහිවූ 'සිවිල් ආරක්ෂක බළකාය' වැනි ආරක්ෂක සේවාවන් වෙත ගම්වල බහුතරයක් පිරිස් ඇදී ගියා.

වසර 30කට අධික කාලයක් තිස්සේ මෙවැනි යුද ආර්ථික වටපිටාවකම හැදී වැඩුණු සහ සමාජගත වුණු මේ මායිම් ගම්මානවල ජනතාවට, යුද්ධයෙන් පසු වෙනත් විකල්ප ආර්ථික ක්‍රියාකාරකම්වල  නිරත වීමට අවශ්‍ය යටිතල පහසුකම් කිසිවක් ප්‍රදේශය තුළ දියුණු වුණේ නැහැ. අනෙක් (BCIS) ජ්‍යෙෂ්ඨ පර්යේෂක, ආචාර්ය අමාලි වෙදගෙදරඅතට, පශ්චාත්-යුද සමයේදී මෙවැනි මායිම් ගම්මාන ස්ථාවර ආර්ථික පරිවර්තනයක් වෙත රැගෙන යාම සඳහා වූ නිසි ජාතික වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් රජයට තිබුණෙත් නැහැ.

වර්තමානය වන විට දේශගුණික විපර්යාස, වනාන්තර විනාශ වීම නිසා උග්‍ර වී ඇති අලි-මිනිස් ගැටුම ඇතුළු පරිසර ගැටලු සහ කෘෂිකාර්මික යෙදවුම්වල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ගොවිතැන කියන දේ තවදුරටත් කුඩා ගොවියාට ඔරොත්තු දෙන හෝ ලාභ ලබන දෙයක් නොවෙයි. එසේම වෙනත් කුඩා පරිමාණ කර්මාන්තයක් ආරම්භ කිරීමට වුවද, ශ්‍රී ලංකාවේ වත්මන් අවදානම් සහගත ආර්ථික වටපිටාවෙන් ඔවුන්ට කිසිදු අත්වැලක් ලැබෙන්නේ නැහැ. මෙවැනි අසරණ තත්ත්වයක් යටතේයි, බහුතරයක් ජනතාව තවදුරටත් කුමන හෝ සේවා අංශයක් හරහා තමන්ගේ දෛනික ආදායම් මාර්ග සකසා ගැනීමට වෙහෙසෙන්නේ.

පශ්චාත්-යුද සමය තුළ මේ මායිම් ගම්මාන වෙත විවිධ බැංකු සහ මූල්‍ය සේවා (Microfinance) ශීඝ්‍රයෙන් ප්‍රවිෂ්ට වුව ද, ඵලදායී නිෂ්පාදන ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වීමට අවශ්‍ය වෙනත් කිසිදු ස්ථාවර පහසුකමක් මේ ප්‍රදේශවල නිර්මාණය වුණේ නැහැ. එමෙන්ම, දශක තුනකට අධික කාලයක් තිස්සේ යුද ආර්ථිකය තුළ ම සිරවී සිටීම නිසා මේ ජනතාව ගෙන් ගිලිහී ගිය වෘත්තීය නිපුණතා නැවත ලබාදීම (Deskilling) පිළිබඳව රජයේ අවධානයක් යොමු වුණේම නැහැ. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, මේ ගම්මානවල ජනතාව ත්‍රී රෝද රථ රැකියාව, කෙටි කෑම සැපයීම, මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස යෑම හෝ කුලී වැඩ කිරීම යනාදි අස්ථාවර සේවා ආර්ථිකය තුළම තවදුරටත් හිරවීම පමණයි. කැබිතිගොල්ලෑව බඳු මායිම් ගම්මානවලින් අදටත් අපට දැකගත හැක්කේ, එදා පැවති යුද ආර්ථිකයේ ම තවත් එක් නරක දිගුවක් ලෙස මේ සේවා ආර්ථිකය ගම තුළ තදින් මුල් බැසගෙන තිබීමයි."

 

මායිම තවමත් වෙනස් වෙලා නැහැ

මෙම ඛේදනීය සිදුවීම සහ වත්මන් සන්දර්භය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිය හා සමාජ භාරයේ (LST) පර්යේෂකයෙකු වන විදුර මුණසිංහ මෙසේ පැවසී ය.

vidura munasingheනීතිය හා සමාජ භාරයේ (LST) පර්යේෂකයෙක විදුර මුණසිංහ

"කැබිතිගොල්ලෑව කියන්නේ එක කාලෙක ‘මායිම් ගම්මානයක්’ විදිහට සැලකුණු ප්‍රදේශයක්. මේ ‘මායිම’ කියන වචනයෙන් අදහස් කළේ ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය විහිදුණු අවසාන සීමාවයි. එතනින් එහාට තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍යයෙන් වෙන්වුණු, වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ බල ප්‍රදේශයයි. යුද්ධය කියන්නේ මේ පාර්ශව දෙක අතර ඇතිවුණු ගැටුමක් විදිහට අපි ඉතාම සරලව තේරුම් ගත්තොත්, ‘යුද්ධය අවසන් වීම’ කියන්නේ කොළඹින් පාලනය වන ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය අර කියපු මායිම් ගම්මානයෙන් එහාට ගොස් මුළු දූපතේ ම සමස්ත භූමිය පුරාම පිහිටුවීම කියලයි අපිට වටහාගන්න වෙන්නේ.

නමුත්, අද දවසේ කැබිතිගොල්ලෑව දිහා බලපුවාමත් පෙනෙන්න තියෙන්නේ, එය තවමත් ශ්‍රී ලංකා රාජ්‍යයේ මායිමක් වගේම තමයි. හැම අතින්ම ඒ ගම්මාන තවමත් තියෙන්නේ පරිවාරයේ (Marginalized). යුද ජයග්‍රහණයත් එක්ක රාජ්‍යයට පුළුවන් වෙලා තියෙනවා තමන් ගේ ආරක්ෂක සීමාව කැබිතිගොල්ලෑවෙන් තවත් ගොඩක් ඈතට ගෙනියන්න. නමුත්, මරණ බිය නැතිවීම හැරුණකොට, රාජ්‍යය වෙතින් තමන්ට ලැබිය යුතු සැබෑ සැලකිල්ලේ හෝ සංවර්ධනයේ කිසිම වෙනසක් කැබිතිගොල්ලෑවේ මිනිසුන්ට තවමත් දැනිලා නැහැ. රාජ්‍යයක් තමන්ගේ පුරවැසියන් ගැන බලාගන්නවා කියන්නේ, ඔවුන්ව මරණ බයෙන් තොරව කොහොමහරි ජීවත් වෙන්න ඉඩ හැරීම පමණක් නෙවෙයි.

එදා බස් බෝම්බය පුපුරපු අවස්ථාවේ එවකට සිටි ජනාධිපතිවරයා කැබිතිගොල්ලෑවට ආවා. මියගිය තමන් ගේ දරුවාව දෝතින් වඩාගෙන ජනාධිපතිවරයා වෙත පෙන්වමින් වැලපෙන එක්තරා පියෙක් එදා අපි මාධ්‍ය මඟින් දැක්කා. එතනදි ජනාධිපතිවරයා ඉතාම ස්ථිරසාරව කිව්වා ‘මම බලාගන්නම්’ කියලා. ඒක මේ රටේ බහුතරයක් මිනිසුන්ට දැඩි හැඟීම්බර දර්ශනයක් වුණා. ‘බලාගන්නම්’ කියලා එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන බලාගත්තා; යුද්ධය දිනුවා. ඊට පස්සේ සිද්ධ වුණු දේවල් අපි හැමෝම දන්නවා. හැබැයි, කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ, කැබිතිගොල්ලෑවේ නොමැරී ඉතිරි වුණු ඒ අහිංසක ජනතාව ගැන නම් ඊට පස්සේ කවුරුවත් ඔවුන්ගේ ජීවිතය ගැන දීර්ඝකාලීනව විසඳුමක් (Sustainable Solution) ලෙස, කිසිවක් බලාගෙන නැහැ කියන එකයි. ඒ නිසා, අදටත් කැබිතිගොල්ලෑව කියන්නේ රාජ්‍යයේ අවධානයෙන් ගිලිහුණු, පරිවාරයේ අතහැර දමාපු ගමක්ම තමයි." 

බොහෝ ශ්‍රී ලාංකිකයන්ට කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරය යනු යුද්ධයේ අඳුරුතම මතක අතරින් එකකි. නමුත් වසර විස්සකට පසු, ඒ කතාව හුදෙක් එකම එක දවසකට හෝ එකම එක බස් රථයකට පමණක් සීමා නොවේ.

එදා ඒ මාරක බස් රථය ගමන් කළ මාර්ගය දෙපස අද ජීවත්වන මිනිසුන් මුහුණ දෙන්නේ, එදා සිදුවූ ඛේදවාචකයට වඩා ඉතා අඩු අවධානයක් දිනාගත්, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමේ බරපතළ අභියෝගවලට ය. ප්‍රහාරය පිළිබඳව රටේ බොහෝ දේ ලියැවී, විවිධ සැමරුම් පැවැත්වුණ ද, තවමත් ඒ ගම්මානවල ඉතිරිව සිටින මිනිසුන්ගේ ජීවිත ගෙවී යන්නේ රටේ අවධානයෙන් බොහෝ ඈත හුදෙකලාවක ය.

ඔව්, විසි වසරකට පෙර මෙන්ම පසුවත්, කැබිතිගොල්ලෑව ගැන වැඩි දෙනෙක් දන්නේ නැත...

 

154815548 1637613759959892 7511171897489660331 n

 

 

 

 

වාර්තාව සහ ඡායාරූප - ශබීර් මොහොමඩ්

( මාධ්‍යවේදී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න