අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරිය ගේ මරණය ගෙල සිරවීමකින් සිදුවූ මරණයක් බවට විමර්ශන නිලධාරින් සැක පළ කරයි. මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇයගේ පෙම්වතා සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර තවමත් සැකකරු සොයාගැනීමට නොහැකිවී තිබේ. කෙසේවෙතත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව ඇත.
ඒ අනුව මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ දිනෙත් දිසානායක නමින් පෙනී සිට ඇතත් ජාතික හැඳුනුම්පතේ සඳහන් ඔහු ගේ සත්‍ය නම ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර බවත්, ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය සඳහන් කරයි.
එසේම මෙම සැකකරු බොරු කොණ්ඩයක් පැලඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහු තරුණියන් රැසක් සමග සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවට ද තොරතුර වාර්තා වෙයි.
සැකකරුට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාම සහ පාදුක්ක යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත්, ඔහු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කාන්තාවන් රවටා මුදල් ලබාගැනීම් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව පැවසේ. 43 හැවිරිදි තිදරු පියෙක් වන සැකකරුගේ මෙම අපරාධ සඳහා ඔහුගේ බිරිඳ ද අධාර අනුබල දීම් සිදුකරන බවට පොලිසිය සැක පළ කරයි.
එමෙන්ම මෙම සැකකරු සැබැවින්ම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ද යන්නත් සැක සහිත බවත් තරුණියන් රැවටීම සඳහා එවැන්නක් පවසන්නට ඇතැයි සැකකරන බව විමර්ශන නිලධාරින් කිය යි.
සැකකරු සම්බන්ධයෙන් මේවන විට නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා ගේ සෘජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ක්‍රියාත්මක ය.
මුලාශ්‍ර - CIA උකුස්සා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
