ක්‍රියාකාරී පලස්තීන රජයක් වෙනුවෙන් පෙනී සිටිනවා - ජනපති රනිල්

ක්‍රියාකාරී පලස්තීන රජයක් වෙනුවෙන් පෙනී සිටිනවා - ජනපති රනිල්

පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැද පෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමග අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේය.

එක් රාජ්‍යයක් පිහිටුවීම මගින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පැවසීය.

මීට අමතරව, ගාසා තීරය වෙත ශ්‍රී ලංකාවද මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාසා තීරය වෙත මානුෂීය අධාර සැපයීම් අඛණ්ඩව සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පලස්තීන ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරමින් සටන් විරාමයක් ඇතිකරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

පලස්තීනය සහ ගාසා තීරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වන ස්ථාවර සහයෝගය වෙනුවෙන් මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් සහභාගී වූ තානාපතිවරු එහිදී සිය ස්තූතිය පළ කළහ.

ගාසා තීරයේ සිදුවන සටන් නැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ නොසැලෙන ස්ථාවරය ද අගය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව රතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට සහභාගී වීම පිළිබඳ සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී ඇති බව ද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවන්හිදී, බටහිර රටවල් සමඟ පවතින සබඳතාවලට අමතරව ආසියාව, බටහිර ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග යන කලාප සමඟ ද පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධාරණය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව අනුගමනය කරන පුළුල් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව තානාපතිවරුන් වෙත කරුණු පැහැදිළි කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්‍රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරුන් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යායේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති විදේශ සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න