වර්තමානයේ කුමන දේශපාලන ස්ථාවරයක සිටිය ද ජනිත් විපුලගුණ නමැති පුද්ගලයා මෙරට දේශපාලන කරළියේ සුවිශේෂී චරිතයකි. ඊට ප්‍රධාන ම හේතුව ලෙස මා දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් (ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ: මල්බඳුන ලාංඡනය: 1994 අගෝස්තු 16) මහ මැතිවණයකට ඉදිරිපත්ව, වැඩි ම මනාප සංඛ්‍යාවක් (මනාප 15691ක්) ලබාගෙන, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා ඔහු වන බැවිනි.
නමුත් එවකට පක්ෂය සමග එකඟව (නියමය පරිදි යැයි පැවසුව ද වරදක් නැත) තමන්ට හිමි වූ මන්ත්‍රීධූරය නිහාල් ගලප්පත්ති සහෝදරයාට පිරිනමා පසෙකට විය.
(මෙම තොරතුරු වැරැදි නම් එය නිවැරැදි කිරීමේ අයිතිය පාඨක ප්‍රජාව සතු ය.)
මතු පළ වන්නේ ඔහුට වසර පනහක් පිරීම නිමිති කරගෙන ඔහු විසින් ම සිය face book ගිණුමෙහි තබන ලද සටහනකි.
හරි හමං විදියකට යමක් කමක් කරන්න කියන්න, ලියන්න කියන්න, වටහා ගන්න සහ යමකුට වටහා දෙන්න හැකිව කාලය ගෙවූ, දිවියේ අඩ සියවසක් මට තවම පිටපත් කළ හැකි ය.
ඒ අතරින් මේ ගෙවෙන්නේ, පොත පතින් අසා දැන උගත් ගජබින්න සහ චේතිය රාජ සමයක් නොව එය මනාව ප්‍රායෝගිකව අද්දකිමින් වියපත්වන කාලයකි.
ටිකෙන් ටික ඉහ නිකට පැහෙන්නට පටන්ගෙන දැන් කාලයක් ගෙවී ඇතත් දැන් දැන් එය වසන් කරන්නට නොහැකි හෙවත් ආයාසගත රූපාලංකාරයට නතු කරන්න දරන වෑයමත් දියවී යන්නා සේ ය. ඉහ නිකට පැහීම හෙවත් නර කෙස් පෑදීම යමෙක් වැඩිහිටියෙක් බව වචනයෙන් නොකියාම රූපශ්‍රීයෙන් ම සමාජ ගතකරන්නකි. 'වැඩිහිටියා' යනු, 'හිටියා වැඩියි' යැයි යමෙකු කීවේ විහිළුවට මෙන් බව අසා මතකයේ ඇත.
ඒ කෙසේ වෙතත්, හැට පැන්නත් බිම නොයන සත්ත්ව විශේෂයෙන් පැවැත එන්නන් බව කියන පුරාවෘත්ත අතර අපට ඇත්තේ ද මතක පමණක් ය. ඒ මතක ආදර්ශයට ගෙන හෝ මතක උගත් පාඩම් බවට පත් කරගෙන හෝ යමෙක් පවසන ඔවදන් පිළිගන්නට අසමත් ජාතියක මුවවිට වැඩිහිටියන් වීම තරම් අභග්ගයක් තවත් නැති තරම් ය.
නරකෙස් විහිදෙන කල්හි, වියපත් දරුවන් සිටිය ද ලේ උරුමයෙන් තවම මුනුපුරු හෝ මිනිපිරියන් මට නැත. එහෙයින් දරුවන් ගේ දරුවන් බලා කියා ගෙන කල්මැරීමට ද අවස්ථාවක් තවම නැත. එපමණක් නොව තවත් දරුවන් හදන්නට ද හැකියාවක් නැත්තේ ද නැත. එහෙත්, මේ සංස්කෘතික සීමා තුළ එවැන්නක් ප්‍රකාශ කිරීම ද තහනම් වාක්‍යයක් බවට පත්ව ඇති පරිසරයක අපි දිවි ගෙවමු.
ඒ සහ මේ තහනම් කුමක් වුවත්, මේ ගෙවන්නේ නම් හරිම අපූරු කාලසීමාවකි.
නූතන චේතිය රජුන් ගේ ගජබින්න රස බලමින්, අලංකෘත වූ ආප්තෝපදේශ කරපින්නාගනිමින්, නාභියට දබරැඟිල්ල රුවා කශේරුකාව ගණිමින්, අහසට දෑස් දල්වා කාලය ගෙවමින් වුව ද ගජබින්නාලංකාරයේ පිටු අතර හොරු සොයමින් හංස ගී ගයන පරපුරක් අප ඉදිරියේ ය.
එවන් දසුන් කෙතරම් පුණ්‍යවන්ත ද හෝ පවුකාරවත් ද යන්න විමසීමට පවා කාලයක් මිඩංගු කිරීම වැඩදායකදැයි, කෙනෙකු හදවතට කුළුගෙඩි පහරක් හෙලා මොළයෙන් විමසන පරිසරයක අපි කල් ගෙවමු.
අතීතයේ උරුම වත්මන බව පිළිගනිතත්, වත්මන යනු අනාගතයට පාර තනන යුගයක් හෝ පරපුරක් හෝ බව පිළිනොගන්නා වත්මන් පරපුරක් සමග විසීමත් මාර වැඩකි.
කෙසේ හෝ මෙම මාර වැඩ හමාර වන තෙක් කල්මරන්නට අපට සිදුව තිබේ.
එතෙක් අපි සිනහසෙමු..!

ජනිත් පී. වී. විපුලගුණ
2026 වෙසක් මස 19 වැනි දා...
මාතොට සිට...
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
