Image

"දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව අභියෝග රැසක – මහාචාර්ය ජී. එල්. පීරිස්"

"දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව අභියෝග රැසක – මහාචාර්ය ජී. එල්. පීරිස්"

වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අද වන විට කලාපීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

ඊයේ (05) කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම තත්ත්වයට නිසි රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයන් ඔස්සේ කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී රටක් ලෙස තවත් බරපතල අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

විශේෂයෙන්ම BRICS වැනි ප්‍රබල ජාත්‍යන්තර සංවිධානවල සහාය අහිමි වීම, සමුද්‍රීය මානුෂීය අර්බුද හමුවේ නිසි ස්ථාවරයක් ගැනීමට නොහැකි වීම සහ නොබැඳි පිළිවෙත නාමමාත්‍රිකව පමණක් භාවිතා කිරීම නිසා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මතු පළ වන්නේ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්  පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.

 

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (05) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස්


(උපුටා ගැනීම)

"ශ්‍රී ලංකිකයෙක් මරණීය දණ්ඩනයට යටත්ව සෞදි අරාබියේ බන්ධනාගාරයක සිරකොට තිබෙනවා. එය ඉතාමත් ශෝචනීය සිද්ධියක්. අප සියලු දෙනාටම විශාල උනන්දුවක් තිබෙනවා ඒ භයානක ඉරණමෙන් ඔහුව මුදා ගැනීමට. නමුත් එය නිවැරදි ක්‍රමවේදයට අනුව සිදුවිය යුතුයි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සහ නායකත්වය ලබා දිය යුත්තේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. කෙරන සියලුම දේවල් කෙරෙන්න ඕනේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි.

දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තුව, මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ආයතන මේ සඳහා කෙලින්ම මැදිහත් වුණොත් ඒකෙන් ලොකු හානියක් සිදුවෙනවා. කවුරුහරි උත්සාහ දරනවා නම් සෞදි අරාබියේ බන්ධනාගාරයේ පාලකතුමාට දුරකථනයෙන් කතා කිරීමට, එය ඉතාම භයානක තත්ත්වයක්.

අනෝජන් සිරිනිවාස තමයි බන්ධනාගාරයේ සිටින්නේ මරණීය දණ්ඩනයට යටත්ව. ඒ රැඳවියාට කෙලින්ම කතා කරන්න උත්සාහ දරනවා නම්, එහෙම නැත්නම් ඒ බන්ධනාගාරයේ පාලකයාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ සිවිල් සමාජයේ නායකයන් හෝ වෙන කවුරු හරි, එහි ප්‍රතිඵලය ඉතා අහිතකරයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සම්ප්‍රදායන් තිබෙනවා. අප ගරු කරන්න ඕනේ ඒ රටේ සංස්කෘතියට, පාලන ව්‍යුහයට සහ එම රජය තීරණ ගන්න ක්‍රමයට. ආවේගශීලීව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කිව්වොත් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය හා ලැබෙන ප්‍රතිඵලය අතර විශාල වෙනසක් තිබෙනවා. අවුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා. එය කිසිසේත් සෞදි අරාබියේ රජය අනුමත කරන ක්‍රියාමාර්ගයක් වෙන්නේ නැහැ. හැමෝම මේකට හවුල් වෙයි.

නමුත් නියෝජිත පිරිසක් පත් කරලා තිබෙනවා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞදි අරාබියට ගිහිල්ලා සෞදි අරාබියේ රජතුමාට හා රජයට මේ මරණීය දණ්ඩනය ඉවත් කිරීමට කරුණු ඉදිරිපත් කිරීමට. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඇති නීති  හඳුනාගෙන ඒ වැඩ කටයුතු කිරීමටත් භාර දී තිබෙනවා.

අප සියලු දෙනාටම මෙහි වැදගත් ප්‍රතිඵලය ලබා ගැනීමට නම් විදේශ ප්‍රතිපත්තියේ මූල් බැසගෙන තිබෙන එහෙම නැතිනම් අවුරුදු ගණනාවක් තිබෙන සම්ප්‍රදායන්ට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

සති දෙකකට පෙර තිබුණා ඉන්දියාවේ නවදිල්ලි නුවර බ්‍රික්ස් (BRICS) සංවිධානයේ රාජ්‍ය නායකයන්ගේ සමළුවක්. බ්‍රික්ස් සංවිධානය කියන්නේ අද ලෝකයේ ඉතාමත් ප්‍රබල සංවිධානයක්. ඔවුන් ප්‍රබල රටවල්. ඉන්දියාව, චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය මේ ඔක්කොම රටවල්වල රාජ්‍ය නායකයන් මේ සඳහා පැමිණියා. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවට ඒ සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ.

2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය හොබවන අවස්ථාවේදී එතුමා සාකච්ඡා කළා රුසියාවේ පුටින් ජනාධිපති සමඟ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනාවක් ලැබුණා ඒ සංවිධානය සමඟ සාකච්ඡා කරන්න. නමුත් ඒ අවුරුද්දේ ආණ්ඩුව වෙනස් වුණා. වර්තමාන රජය බලයට පත් වුණා.

2024 බ්‍රික්ස් රාජ්‍ය නායකයන්ගේ සමුළුව පැවැත්වුණා රුසියාවේ කසාන් නගරයේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ගියේ නැහැ, අගමැතිනිය මීට සහභාගී වුණේ නැහැ, විදේශ ඇමතිතුමා සහභාගී වුණේ නැහැ,

ලංකාව නියෝජනය කළේ නිලධාරියෙක් විසින්. ඒ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා. මේ සඳහා සහභාගී වුණු ෂී ජින්පිං, පුටින්, නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයින්ට වැටහුණා ශ්‍රී ලංකාවට මෙය වැදගත් නොවන බව.

එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අවුරුද්දේ නවදිල්ලියේ පැවතුණු බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අපිට ආරාධනාවක් නොලැබුණේ.

මෙයින් විශාල හානියක් රටට සිදු වුණා. බ්‍රික්ස් සමුළුවේදී ස්ථාපිත කළා ඉතාමත් වැදගත් ආයතනයක්, අපිට හුඟක් ප්‍රයෝජනවත් ආයතනයක්. අලුත් සංවර්ධන බැංකුවක්. ඒ කියන්නේ සංවර්ධන වන රටවල් වලට, නැගී එන වෙළඳපොළ වලට අවශ්‍ය මූල්‍ය ශක්තිය ආධාර සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේම ඒ මට්ටමේ ජාත්‍යන්තර බැංකුවක් ස්ථාපිත කිරීමට මේ බ්‍රික්ස් සමුළුවේදී පියවර ගත්තා.

ශ්‍රී ලංකාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ ආර්ථිකය. මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ IMF ගිවසුම අවසානයි. අලුත් ගිවිසුමක් ඇති කරගත්තාද, නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණයක් නැහැ. මැද පෙරදිග යුද්ධය නිසා විශේෂයෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපිට මේ අලුත් බැංකුවෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමට පුළුවන් නම් ඒක අපිට විශාල සහනයක් වෙනවා. නමුත් අපි පසුබිම සකස් නොකරගත් නිසා අපිට ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් වෙනත් ආසියානු රටවල්, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව මෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ගත්තා.

මෙන්න මේ තත්ත්වය තුළ අද අපේ රටට මුහුණ දීමට සිදුවෙලා තිබෙන සංකීර්ණ ප්‍රශ්න වලට අපේ ස්ථාවරය ඉදිරිපත් කිරීම ගැන විශාල ගැටලු ඇතිවෙලා තියෙනවා.

අපේ මූහුදට ආසන්නව අද වනවිට ඉරානයේ නැව් 15 ක් තිබෙනවා. ඒ අයට අවශ්‍ය වතුර නැහැ, ආහාර නැහැ, ඒ නැව්වල සිටින පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම අද ඉතාමත් අසීරු දෙයක් වෙලා තිබෙනවා. ඒ නැව් වලින් ශ්‍රී ලංකා රජයට ආයාචනයක් ලැබිලා තිබෙනවා මේ අයගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආහාර, ජලය වගේ අත්‍යවශ්‍ය දේවල් සපයන්න කියලා.

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළා. අපිට මේක කරන්න පුළුවන්කමක් නැහැ. මොකද? ඇමරිකාව සම්බාධක පනවලා තිබෙන නිසා කියලා.

ප්‍රායෝගිකව බලනවිට ඒ සම්බාධක වලට පටහැනිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ශක්තියක් නැහැ. ඒක ඇත්ත. විදේශ කටයුතු අමාත්‍යාංශය කියනවා මේ සම්බාධක ප්‍රශ්නය ලංකාවට විතරක් නෙමෙයි, ලෝකයේ සියලුම සාගරවල දැනට සිටින ඉරාන නැව් වලට බලපානවා කියලා. නමුත් වැරදි දේ හැමතැනම කෙරෙන නිසා හරි වෙන්නේ නැහැ. වැරදි දේ වැරදියි.

මේ ප්‍රශ්නය මානුෂීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ප්‍රථම වතාවට ඉස්මතු වුණේ අපේ සමුද්‍ර තීරයට ආසන්නව තිබෙන ඉරාන නැව් 15 සම්බන්ධයෙන් පමණක් නෙමෙයි.

මීට මාස අටකට පෙර “අයිරිස් දේනා” කියන ඉරාන නෞකාවට පහර දුන්නා ඇමෙරිකානු සබ්මැරීනයක්. එය සිද්ධ වුණේ ශ්‍රී ලංකාවේ සුවිශේෂ ආර්ථික කලාපය තුළ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට විශේෂ වගකීමක් තිබුණා. මොකක්ද වුණේ? ඒ නැවට ටෝපිඩෝවල් එල්ල වුණා. ඒ නැව ගිනි බත් වෙලා ගිලුනා. මෘත ශරීර 87ක් සාගරයේ පාවෙමින් තිබුණා.

ඒ පිළිබඳ කිසිම ප්‍රකාශයක් ශ්‍රී ලංකා රජයෙන් කෙරුණේ නැහැ. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව මේ විදිහට යම්කිසි රටක විශේෂ ආර්ථික කලාපයක් තුළ මේ විදිහට ප්‍රහාරයකට ලක්වුණු නැවක් ගිල්ලපු ප්‍රථම අවස්ථාව මේකයි.

මේ විෂයට අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වුණා නම් මේ සම්බන්ධයෙන් අපිට හඬක් නැගීම පහසු වෙනවා., එසේ කිරීමට අනන්ත අප්‍රමාණ අවස්ථා අපට තිබුණා. නමුත් ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා රජය කිසිම උත්සාහයක් දැරුවේ නැහැ.

කැබිනට් ප්‍රකාශකතුමා ඊයේ කිව්වා, "නොබැදි ප්‍රතිපත්තියට පටහැනිව අප කිසිවක් කරන්නේ නැහැ" කියලා. ශ්‍රී ලංකාව ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා. එය නාමමාත්‍රයෙන් පමණක් නෙමෙයි, ප්‍රායෝගිකව කරන්න ඕනේ.

1976 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය තිබුණු කාලයේදී විදේශීය රටවල නායකයින් 65 දෙනෙක් කොළඹ රැස්වුණා. කවදාවත් නොතිබුණු ගෞරවයක් ශ්‍රී ලංකාවට අත්වුණා. ඊටපස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ නොබැදි සම්මේලනයේ සභාපතිතුමා වුණා, කියුබා රටේ හවානා නගරයේ පැවතුණු සම්මේලනයේ මූලාසනය ගත්තා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා. මෙය ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක්, තේජසක් අත්වුණා. පදැන් එහි සෙවනැල්ලක්වත් ඉතිරි වෙලා නැහැ.

මේ සම්මේලන වලට සහභාගි වෙලා, අපි හඬක් නගලා, සමහර අවස්ථා වලදී අපිට නායකත්වය ගැනීමේ අවස්ථාව ලැබුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති, ඒයෙන් ප්‍රයෝජන ගත්තා.

නමුත් වර්තමාන රජය ඒවායේ අපි නායකත්වය ගන්නවා තියා ඒවා අහලකටවත් යන්නේ නැහැ. ඉතින් ඒවායේ වැදගත්කම පිළිබඳවත්, අපේ රටට අහිමි වී යන ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික අවස්ථා පිළිබඳවත් අපේ රටේ ජනතාව නිරන්තරයෙන් දැනුවත් විය යුතුයි.

විදේශ ප්‍රතිපත්තිය දුර්වල වීම හේතුවෙන් අද ශ්‍රී ලංකාවට කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝග අතිමහත්ය. මේවාට නිසි ක්‍රමවේදයන් යටතේ විසඳුම් ලබා නොදුනහොත් රටක් ලෙස අපට ඉදිරියේදී තවත් බරපතල අර්බුදවලට මුහුණ දීමට සිදු වනු ඇත."

(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න