Language Switcher

V2025

උපයෝගීතා කොමිසමේ පොහොට්ටු ජනකගේ ආරක්ෂාව සජබ බාරගෙන !

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

රජයේ මෙම තීරණය ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගනු ලබන ක්‍රියා මාර්ගයක් ලෙස සළකා මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කල බවත් ඔහු පවසයි .

කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි ලෙස හදුන්වා දී ඇත්තේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම බවත් ඒ හැර කිසිදු වංචා දූෂණ චෝදනාවක් ඔහුට එල්ල වී නොමැති බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි .

දේශීය සහ ජාත්‍යන්තර බලපෑම හේතුවෙන් 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව ලැබුනත් මේ ආණ්ඩුව යටතේ තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරන බවට පෙනී යන බවත් ඔහු පැවසීය.

ජනක සජබ පිල්ලියක් !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , හැංගි හැංගි නටපු ජනක එළිපිට වෙස් බැඳීම කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය හරහා තහවුරු කරන බවයි.

පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස ජනක රත්නායක පත්කළත් ඔහුගේ පසුකාලීන හැසිරීම අතිශය දේශපාලනික වූ බවත් ඒ තුළ සූක්ෂම ආකාරයට ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට දැරි ප්‍රයත්නය පෙන්නුම් කළ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ වන විට ජනාධිපතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇති අතර ඒ හරහා ඔහු අර්බුදය හමුවේ රට ගොඩනැගීම වෙනුවට පෞද්ගලික අභිලාෂයක සිට කටයුතු කර ඇති බව තහවුරු කර ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙනී සිටින බවට පසුගිය සතියේ පුවත් නිර්මාණය කර සිටියේ ද සජබ හිතවාදී මාධ්‍ය බව නිරීක්ෂණය වූ බව සඳහන් කරන දේශපාලන විචාරකයන් අවසන් මොහොතේ කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පොහොට්ටුවේ ජනක සජබ සමග එක්ව ඇති බව තහවුරු කර ඇති බවත් පවසයි .