අප සංචිත ගොඩනගන්නේ අර්බුදයක් බලාපොරොත්තුවෙන් නොව, ඊළඟ අර්බුදය පැමිණෙන්නේ කවදාදැයි අප නොදන්නා බැවින් යැයි යනුවෙන් මහා බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (10) කොළඹදී පැවැත්වුණු "සංචිත කළමනාකරණ සමුළුව 2026" (Reserve Management Conference 2026) හි ප්‍රධාන දේශනය පවත්වමිනි.
"ඉහළ යන අවිනිශ්චිතතා හමුවේ සංචිත කළමනාකරණය සඳහා වූ උපාය මාර්ග: බෆර ගොඩනැගීම" යන තේමාව වර්තමාන ගෝලීය ආර්ථික වාතාවරණය හමුවේ අතිශයින්ම කාලෝචිත වන බව ද ඔහු පැවසී ය.
වඩාත් ම වැදගත් කරුණ
මහ බැංකුවකට විදේශීය සංචිත යනු ශේෂ පත්‍රයක ඇති මූල්‍ය වත්කම් පමණක් නොව, බාහිර ආර්ථික කම්පනවලට එරෙහිව රටකට ඇති ප්‍රධානතම ආරක්ෂක පවුර බව අධිපතිවරයා පෙන්වා දුන්නේ ය. විදේශීය සංචිත මගින් ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනගන අතර, ප්‍රතිපත්තිමය නම්‍යශීලීභාවයක් ලබා දෙමින් අත්‍යවශ්‍ය බාහිර වගකීම් ඉටු කිරීමට අවස්ථාව සලසයි. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, අර්බුදයකදී ප්‍රතිපත්ති සම්පාදකයින්ට ක්‍රියාත්මක වීමට, වෙළඳපොළවල් ස්ථාවර වීමට සහ වේදනාකාරී ආර්ථික නිවැරදි කිරීම්වලින් තොරව ආර්ථිකය සකස් වීමට අවශ්‍ය "කාලය" (Time)ලබා දීම බව ද අධිපතිවරයා පැවසී ය.
සාම්ප්‍රදායික සංචිත කළමනාකරණය සුරක්ෂිතභාවය (Safety), ද්‍රවශීලතාව (Liquidity) සහ අස්වැන්න (Return) යන මූලික අරමුණු තුන මත පදනම් වූවද, වර්තමාන ගෝලීය පරිසරය බෙහෙවින් සංකීර්ණ වී ඇත. භූ-දේශපාලනික බෙදීයාම්, වෙළඳ නොසන්සුන්තා, සම්බාධක, බලශක්ති මිල වෙනස්වීම් සහ ශීඝ්‍ර තාක්ෂණික පරිවර්තනයන් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය වැඩිවශයෙන් කැබලිවලට වෙන්වෙමින් පවතින බව ද අධිපතිවරයා පැහැදිලි කළේ ය.
සංචිත එකතු කිරීම රේඛීය ක්‍රියාවලියක් නොවේ
ලෝකයේ එක් ප්‍රදේශයක සිදුවන ගැටුමකින් ගෝලීය බලශක්ති මිල ඉහළ යා හැකි අතර, ප්‍රධාන නාවික මාර්ගයක බාධාවක් මගින් දහස් ගණන් කිලෝමීටර ඈතින් පිහිටි රටවල උද්ධමනය ඉහළ නැංවිය හැකිය. එබැවින්, භූ-දේශපාලනික අවදානම තවදුරටත් බාහිර සාධකයක් ලෙස සැලකිය නොහැකි අතර, එය ආයෝජන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සංචිත කළමනාකරණයට ඇතුළත් කළ යුතු බව අධිපතිවරයා අවධාරණය කළේ ය.
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය මගින් බාහිර සංචිත ක්ෂය වූ විට සිදු වන ප්‍රතිවිපාක මනාව පැහැදිලි විය. සංචිත අවම මට්ටමකට වැටීම නිසා ආනයන සීමා වීම, ණය සේවාකරණය අපහසු වීම, විනිමය අනුපාත පීඩනය, උද්ධමනය ඉහළ යාම සහ ප්‍රතිපත්තිමය වශයෙන් පියවර ගැනීමට ඇති ඉඩකඩ සීමා වීම සිදු වු බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.
අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සන්තුලන සහ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ මගින් බාහිර අංශය ශක්තිමත් වී ඇති අතර, එයින් පෙනී යන්නේ සංචිත එකතු කිරීම රේඛීය ක්‍රියාවලියක් නොවන බවයි. සුභදායී කාලවලදී සංචිත එකතු කරගත හැකි වුවද බාහිර කම්පනයකින් ඒවා වේගයෙන් අඩුවිය හැකිය. එබැවින්, "අප සතුව සංචිත කොපමණ තිබේද?" යන්නට වඩා "එම සංචිත කෙතරම් නම්‍යශීලී, සුරක්ෂිත සහ ඉක්මනින් ලබාගත හැකිද? යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය බවද අධිපතිවරයා කියා සිටියේය.
ප්‍රධාන ම සාධකය විය යුත්තේ අර්බුදයක දී ක්ෂණිකව භාවිත කළ හැකි ද්‍රවශීලතාව යි
අපනයන, සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ සහ ප්‍රාග්ධන ගැලීම් හරහා විදේශ විනිමය ලැබුණ ද, සංචිත එකතු කිරීම යනු මිල ස්ථාවරත්වය සහ විනිමය අනුපාත නම්‍යශීලීභාවය සුරකිමින් කළ යුතු සංකීර්ණ ක්‍රියාවලියකි. අධික ලෙස වෙළඳපොළට මැදිහත්වීම හෝ අධික ලෙස විදේශයවලින් ණය ගැනීම වෙනුවට, ස්වාභාවිකව ම විදේශ විනිමය ජනනය කරන සහ රඳවා ගන්නා ආර්ථිකයක් ගොඩනැගීම වඩාත් තිරසාර උපායමාර්ගය බව ද අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ජාත්‍යන්තර වෙළඳාමේ දී ඇමෙරිකානු ඩොලරය තවමත් ප්‍රමුඛතාව ගත්ත ද, එක ම මුදල් ඒකකයක් මත පමණක් යැපීමේ අවදානම පිළිබඳව මහ බැංකු අවධානය යොමු කර ඇත. කෙසේ වෙතත්, විවිධාංගීකරණය (Diversification) තමන්ගේ ම අරමුණක් කර නොගත යුතු අතර, අර්බුදයක දී ක්ෂණිකව භාවිත කළ හැකි ද්‍රවශීලතාව (Liquidity) ප්‍රධාන ම සාධකය විය යුතු බව ද අධිපතිවරයා පැවසී ය. එසේම, වර්තමානයේ රන් (Gold) සඳහා වන ඉල්ලුම නැවත වැඩි වී ඇති අතර, එය ණය අවදානමක් නොමැති වත්කමක් වුවද මුදල් තරම් ද්‍රවශීල නොවන බැවින්, එක් එක් මහ බැංකුවේ අවදානම් සහ අරමුණුවලට අනුව රන් ආයෝජන තීරණය කළ යුතු බව ද කියා සිටියේ ය.
AI භාවිත කළ යුත්තේ මිනිස් තීරණ වෙනුවට ආදේශ කිරීමට නොවේ
තීරණ ගැනීමේ දී කෘතිම බුද්ධිය (AI) සහ යන්ත්‍ර ඉගෙනීම (Machine Learning) මගින් වෙළඳපොළ නිරීක්ෂණය සහ අනාවැකි පළ කිරීම සබල කළ හැකි වුව ද, AI මගින් අවිනිශ්චිතතාව සම්පූර්ණයෙන්ම නැති කළ නොහැක. ආකෘති අසාර්ථක විය හැකි අතර, අතීත දත්ත මත පදනම් වූ ඇල්ගොරිතම නව ව්‍යූහාත්මක වෙනස්වීම් හඳුනා ගැනීමට අපොහොසත් විය හැකිය. එබැවින් AI භාවිත කළ යුත්තේ සංචිත කළමනාකරුවන් ගේ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට මිස, මිනිස් තීරණ වෙනුවට ආදේශ කිරීමට නොවන බව ද අධිපතිවරයා කීය.
නූතන සංචිත කළමනාකරණය සඳහා ප්‍රධාන මූලධර්ම 4ක් අධිපතිවරයා ඉදිරිපත් කෙරිණි
ප්‍රශස්තකරණයට පෙර ප්‍රමාණවත්බව (Adequacy before optimization):* වැඩි ආදායමක් ලැබීමට පෙර සංචිත ප්‍රමාණවත්දැයි තහවුරු කර ගැනීම.අරමුණු සහිත විවිධාංගීකරණය (Purposeful diversification) අවදානම් අවම කරගැනීමට පැහැදිලි අරමුණු සහිතව විවිධාංගීකරණය කිරීම. භූ-දේශපාලනික අවදානම් ආයෝජන තීරණවලට ඇතුළත් කිරීම:* සම්බාධක, පද්ධතිමය සහ වෙළඳපොළ පිවිසුම් අවදානම් සලකා බැලීම.ගතික සංචිත කළමනාකරණය (Dynamic reserve management) ගෝලීය පරිසරයට අනුකූලව සංචිත කළමනාකරණ රාමුව නම්‍යශීලීව වෙනස් කිරීම එම මූල ධර්ම හතරයි.
අර්බුදයක් පැමිණෙන තෙක් නොසිට, යහපත් කාලවල දී සංචිත බෆර ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. ප්‍රමාණවත් බෆර, විචක්ෂණශීලී විවිධාංගීකරණය, ශක්තිමත් ද්‍රවශීලතාව, විධිමත් ආයතනික පද්ධතිය සහ ජාත්‍යන්තර සහයෝගීතාව මගින් ඕනෑම අනාගත කම්පනයකට මුහුණ දීමේ හැකියාව ගොඩනැගෙන බව අධිපතිවරයා අවධාරණය කළේ ය.
මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මහ බැංකු නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
