රිලා ප්‍රශ්නය ඇමති අලුත් කරයි !

රිලා ප්‍රශ්නය ඇමති අලුත් කරයි !

චීනයට ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ ලැබුණහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එසේම චීනයේ පුද්ගලික සත්ත්වෝද්‍යාන 1,000ක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පවසා තිබේ.

"එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් වගාවන්ට සිදුවන සත්ත්ව හානි සම්බන්ධව ඉදිරිපත් වන කාරණා ගැන නියම තොරතුරු අපි දන්නවා. බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා. අපේ රටේ රිළවු ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූලභාවය ගැනත් අපි සලකාබැලිය යුතුයි.

"ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනවා. එම කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයි. මේ සඳහා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. චීනයට රිළවුන් ලබාදීම සිදුකරන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන කමිටුවේ නිර්දේශය මත පමණයි."

"යම් හෙයකින් කමිටුව තීන්දු කළහොත් චීනයට අපේ රිළවුන් දීමට හැකියාවක් නැති බවට මෙම කාරණය එතැනින් අවසන් වෙනවා. ඒ නිසා බොරුවට කලබලවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් වගා හානි සම්බන්ධව රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයත් සුළුපටු නැහැ. 2022 වසරේ පළමු මාස හය තුළ මේ රටේ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙනවා."

"2022 වසර අවසන් වනවිට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙනවා. රිළවුන් නිසා වගාවන්ට සිදුවන හානි ගැන ගොවි ජනතාව වෙතින් අසා දැනගත හැකියි. ඒ නිසා මෙම ගැටලුව කාලයක් තිස්සේ පවතින කිසිදු විසඳුමක් නැතිව පවතින ප්‍රශ්නයක්. රිළවු චීනෙට ලබාදීමට විරුද්ධව අදහස් දක්වන අය ඒ සඳහා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ නිසා මෙම ගැටලුව පිළිබඳව විවෘත මනසකින් යුක්තව කතාකළ යුතු මාතෘකාවක් බවට පත්ව තිබෙනවා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න