ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව කැඳවීමට නියමිත ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම වන අතර මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය යෝජනා සිදුකරමින් තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
පොහොට්ටු නායකයකුගේ උපදෙස්
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම කටයුත්ත සිදුවෙමින් තිබෙන අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා මධ්‍යම කාරකසභාවට කැඳවිය යුතු බවට නිවේදනය කරණ ලෙසද දන්වා ඇති බව වාර්තා වෙයි.
වෙල්ගමත් වේදිකාවේ
වෙල්ගම මන්ත්‍රීවරයා මේ වන විටත් ආරාධනාවක් ලැබුණහොත් ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවට සහභාගී වන බව පවසමින් මාධ්‍ය වෙත ප්‍රකාශද නිකුත් කර ඇති බවත් ඒද එම සැලසුමේම කොටසක් ලෙස බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ බව දක්වමින් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිරූපයට පහරදීමේ සැළසුම්සහගත ක්‍රියාවලියක් දියත්කර ඇති බවය.
එහි අපේක්ෂාව ශ්‍රීලනිපය නිවට නියාළු, වැනෙන කොන්දක් නැති පක්ෂයක් බවට සාමාජිකත්වය අතර හෑල්ලුවට පත්කිරීම සහ ඒ ඔස්සේ පක්ෂය දුර්වල කර දැමීම බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

