පොදුරාජ්‍ය මණ්ඩල නායකත්ව හමුවට සහභාගීවීම සඳහා බ්‍රිතානයේ ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් සංවිධාන 2 ක් සමඟ සිදුකළ සාකච්ඡා පිළිබඳ පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු newstube.lk වෙබ් අඩවියට පැවසීය.
අදාළ සාකාච්ඡාව ජනාධිපතිවරයා සිය කාර්ය බහුලත්වය පවා නොතකා ලබාදුන් බවත් නමුත් ඒ පදනම් කරගෙන ජනාධිපතිවරයාට අවලාද කිරීමට ඇතැමුන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් මෙන්ම එය ජාතික සංහිඳියාවට මෙන්ම කීර්තිනාමයටද හානිකර බවද ඔහු පවසයි.
එම ප්‍රකාශකයා සඳහන් කරන ආකාරයට ‘කොස්මෝස් යූකේ‘ සහ ශ්‍රී ලංකන් මුස්ලිම් ඩයස්පෝරා ඉන් යූකේ යන මුස්ලීම් සංවිධාන දෙක සමඟ එකවර සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව ලබාදී ඇති නමුත් අදාළ සංවිධානවල නියෝජිතයන් එය ප්‍රතික්ෂේප කර ඇත.
ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයන්ද අදාළ සංවිධාන නියෝජිතයන් දැනුවත් කර ජනාධිපතිවරයාගේ කාර්ය බහුලත්වය පෙන්වාදී ඇති නමුත් එම සංවිධාන නියෝජිතයන් සඳහන් කර ඇත්තේ තමන් සංවිධාන දෙකක් බැවින් වෙන වෙනම ජනාධිපතිවරයා මුණගැසිය යුතු බවය.
ඒ අනුව එකම හෝටලයේ කාමර දෙකක සිට ඔවුන් ජනාධිපතිවරයා මුණගැසීමට අපේක්ෂාවෙන් සිට ඇති අතර ජනාධිපතිවරයාද වෙන වෙනම ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එක්ව ඇත.
එහිදී පැවැත්වුණු පළමු හමුවේදී එක් අයෙකු මහනුවර සිදුවීම පදනම් කරගෙන ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න අසමින් ලංකාව තුළ මුස්ලීම් - සිංහල ජනතාවට එකට විසීමට හැකි පසුබිමක් නොමැති බවට අදහස් දක්වන්නට ගෙන ඇත.
එකට ඉඳගෙන සාකච්ඡා කරන්න බැරි ඇයි ?
එහිදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ රටින් පිටත සිටියදී එකම පාර්ශවයක් නියෝජනය කරන ඔබලාට එක සාකච්ඡා සභාවක සිට අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිව සිට ලංකාවේ සිදුවූ සිදුවීම සම්බන්ධව දක්වන අදහස නිවැරදි නොවන බවය.
මහනුවර සිදුවීමට අදාළ නීතිමය කටයුතු අකුරට සිදුවෙමින් ඇති බවත් වැරදි කළ සියලු දෙනාට එරෙහිව භේදයක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
ස්ථිරසාර සංහිඳියාවක් වෙනුවෙන් ආණ්ඩුව කැපවෙනවා
එසේම විදෙස් රටක සිටින අතර ලංකාවේ තත්ත්වය සම්බන්ධව අදහස් දැක්වීමේදී එය වගකීමෙන් සිදුකළ යුතු බවත් මේ වන විට මහනුවර පමණක් නොව ලංකාවේ සියලු ප්‍රදේශ වල ජනතාව සමඟියෙන් සිටින බවත් ස්ථිරසාර සංහිඳියාවක් ඇතිකරලීම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටින බවත් සඳහන් කර ඇත.
ඥානසාර හිමි අපේ දූත මණ්ඩලයේ සාමාජිකයෙක් නොවෙයි !
ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරියා සඳහන් කළ ආකාරයට අදාළ සංවිධාන දෙකෙහිම නියෝජිතයන් එකම ස්වභාවයේ ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර එහිදී ජපාන සංචාරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දූත කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ඊට එක්වුවාද යන ප්‍රශ්නයද ජනාධිපතිවරයාට යොමුකර ඇත.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තම දූත කණ්ඩායමේ නාම ලේඛනය ඕනෑම අයෙකුට පරීක්ෂා කර බැලිය හැකි බවත් එවැනි නමක් එහි සඳහන්ව නොමැති බව ඒ හරහා තහවුරු කර ගැනීමට හැකියාව තිබෙන බවය.
එසේම අදාළ හිමිනම හමුවුයේ උන්වහන්සේ ඒ වන විටත් ජපානයේ සංචාරයක නිරතව සිටින අතර ජපානයේ වෙසෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ පැවති වැඩ සටහනකදී බවද එසේ සහභාගීවූ හිමිනමක් බැහැදැකීම ප්‍රතික්ෂේප කිරීම තමන්ගේ ක්‍රමය නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අපි වැඩ කල ආකාරය ගැන එක්සත් ජාතීන් පවා පැසසුවා !
තවද සිංහල - මුස්ලීම් ගැටුම් සම්බන්ධව අතිශෝක්තියෙන් කතා කිරීමට වඩා වැදගත් වන්නේ ඒ ප්‍රජාවන් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධය වඩාත් සාමකාමී පරිසරයක් තුළ තබාගෙන ඉදිරියට යාම බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එහිදී සිංහල - මුස්ලීම් වාර්ගික සංහිඳියාව සම්බන්ධව වැඩිදුරටත් විමසන විට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සමාජ ජාල අවහිර කරමින් පවා ඒ අවස්ථාවේ ලංකා ආණ්ඩුව ගැටුම් පැතිර යාම සහ කඩාකප්පල්කාරී ක්‍රියා අවම කිරීමට කැපවූ බවත් එක්සත් ජාතීන්ගේ නායකයන් පවා තම ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳව පැසසුමට ලක්කර ඇති බවය.
තීතිය හමුවේ කාටත් භේදයක් තිබුණේ නෑ
එසේම මහනුවර සිදුවීමට අදාලව වැරදි ලෙස සමාජ ජාල භාවිතා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු සිංහල වන විට අනෙක් කෙනා මුස්ලීම් බවත් ඔවුන් දෙදෙනාම සම්බන්ධව එක සමාන ආකාරයට නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
සංහිඳියාව ස්ථාවර කරගන්න ඩයස්පෝරාවත් සහය දෙන්න
එසේම රෝහින්යා අර්බුදයට සාපේක්ෂව ලංකාවේ තත්ත්වය ඉතාම යහපත් බවත් ඉදිරියේද කිසිඳු ජන කොටසකට හානියක් නොවන ආකාරයට සංහිඳියාව ශක්තිමත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඩයස්පෝරා වැසියන් ලෙස එම කටයුත්තට තම ආණ්ඩුවට සහය දෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී විවෘත ආරාධනයක්ද සිදුකර ඇත.
මෙහිදී තවත් අයෙකු සමාජ ජාල අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම මාධ්‍ය මර්දනයක් බව සඳහන් කරමින් අදහස් දැක්වීමට යාමේදී සභාවේ සිටි අනෙක් පිරිස් ඔහු ට එරෙහිව අදහස් දැක්වූ බවත් ප්‍රශ්නයක් ඔඩුදුවන්න යාමේදී එය වැළක්වීම සඳහා උපක්‍රමයක් ලෙස එම අවහිරය පිළිගත යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.
එක් පාර්ශවයක් වෙනුවෙන් පැයකට අඩු කාලයක් බැගින් පාර්ශව දෙක සමඟ සාකච්ඡාව අවසන් කිරීමට නියමිතව තිබුණත් එක් සාකච්ඡා වටයක් සඳහා පැයකට අධික කාලයක් ගතවූ බවත් ඒ වුවත් කිසිඳු අවස්ථාවක ජනාධිපතිවරයා එයින් නික්ම නොගිය බවද ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයා පැවසීය.
මඩ ගහන්න : ඒත් ජාතිවාදය ඒ දේවලට ගාවන්න එපා !
එසේම කොහෙන් හෝ මොනවා හරි ඇහිඳ ජනාධිපතිවරයාට අවලාද නගන්න සිටින පාර්ශව මේ වැනි හමුවක් පවා එවැන්නකට යොදා ගැනීමට තරම් පහතට වැටීම ඔවුන්ගේ අර්බුදයක් පමණක් බවද ඔහු සඳහන් කරයි. තවද එවැනි අවලාද අවසානයේ පෙරළා ජාතිවාදය පෝෂණය කරන ජන මනස විකෘති කරන තැනට පාර කපන බවත් අවම වශයෙන් අවලාද නැගීම වෙනුවෙන් ජාතිවාදය යොදා නොගැනීමට තරම් හෝ ශික්ෂණයක් නොමැති වීම අවාසනාවක් මෙන්ම ෆැසිස්ට් මානසිකත්වයක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

