තීරු බදු රහිත රත්තරං ආනයනයේ අඛණ්ඩ ඉහළ යාමක් වාර්තා වී ඇතත් එම රත්තරං ඇසුරෙන් කෙරෙන නිෂ්පාදන හෝ ස්වර්ණාභරණ ලෙස අපනයනය කිරීමේ වර්ධනයක් නොපෙන්වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා රේගුවේ බුද්ධි සේවා අනාවරණය කරන ආකාරයට 2016 වසරේදී මෙරටට රත්තරං කිලෝ 9148ක් ආනයනය කර ඇති අතර 2017දී එම ප්‍රමාණය කිලෝ 15757කි.
එසේම 2018 වසරේදී ජනවාරි මාසයේ රත්තරං කිලෝ 2558ක්, පෙබරවාරි මාසයේ රත්තරං කිලෝ 2571ක් සහ මාර්තු මාසයේ රත්තරං කිලෝ 3231 ක් ලෙස මාස 3ක් තුළ රත්තරං කිලෝ 8360ක් ආනයනය කර ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකා රේගු බුද්ධි තොරතුරු සඳහන් කරන්නේ ස්වර්ණාභරණ නිෂ්පාදනය හරහා නැවත අපනයනය කිරීමක් හෝ එසේත් නොමැති නම් දේශීය වෙළඳපොලේ රන් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුනොවුණු පසුබිමක මේ ආකාරයට රත්තරං ආනයනය ඉහළ යාම ඉතා සැකසහිත තත්ත්වයක් බවය.
එසේම මේ හේතුවෙන් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටින් ඇදී යන බවත් ඒ හේතුවෙන් රත්තරං ආනයනය සම්බන්ධ විමර්ශනයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බවද රේගු බුද්ධි සේවා සඳහන් කර සිටියි.
තවද දැනටමත් සිදුකර තිබෙන විමර්ශන වලදී ලංකාව රත්තරං ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්ව ඇති බවත් ඔවුන් මෙරට තිබෙන තීරු බදු සහන ඔස්සේ ආනයනය කරන රත්තරං ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට රහසේ පටවන බවත් නීති විරෝධීව ලංකාවට රත්තරං ගෙන ඒමේ අවස්ථා පිට පිටම වාර්තා වෙමින් ඇත්තේ එකී ජාවාරම සඳහා බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

