ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සිරස මාධ්‍ය ජාලය බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා සිය දායකත්වය ලබාදීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සහ MTV CHANNEL සහ MBC NETWORKS පුද්ගලික සමාගමේ නිලධාරින් ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (06) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ඉතා ඉක්මණින් එන්නත් (Vaccines) ක්‍රමවේදය සමාජ භාවිතයට
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාර්තාවන ඩෙංගු රෝගින්ගෙන් සියයට 52.5 ක් ම වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවයි. එමෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් සියයට 20 බැගින් වාර්තා වන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 23 ක් ආවරණය වන පරිදි පරිදි ඊයේ (05) දින සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින් ම විනාශ කිරිම ඩෙංගු මදුරු පාලනය සහ මැඩපැවැත්වීම සඳහා තිබෙන ස්ථිරසාර විසදුම බවත්, එම කටයුතු අඛණ්ඩව සිදු කරන අතරම ලෝකයේ රටවල් 41 ක් පමණ සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ජාත්‍යන්තරව අනුමත කර ඇති එන්නත් (Vaccines) ක්‍රමවේදය යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරමින් ඉතා ඉක්මණින් එන්නත් (Vaccines) ක්‍රමවේදය සමාජයට භාවිතා කිරිමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. එමෙන් ම ඩෙංගු මදුරු මර්දනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන, විද්‍යාත්මක ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා (Wolbachia) ක්‍රමවේද වැඩසටහනට ඇතුළු වීමට අදහස් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසී ය.
වැඩි ම ඩෙංගු අවධානම තිබුණු වසර 2017
ඩෙංගු රෝගය පැතිරිම සෞඛ්‍ය ප්‍රශ්ණයක් පමණක් නොව සාමාජීය ප්‍රශ්ණයක් බවත්, මෑත කාලයේ වැඩිම ඩෙංගු අවධානම තිබුණු වසර වූයේ 2017 වසර බවද පැවසූ අමාත්‍යවරයා 187,000 ක රෝගීන් ප්‍රමාණයක් එම වසරේ වාර්තා වු බවත්, මරණ 447 ක් වාර්තා වූ බව ද පැවැසී ය. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට පමණක් නොව ගෝලියව ඇති වී තිබෙන කාලගුණයේ වෙනස්කම් හේතුවෙන් ද ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා හිතකර පරිසරයක් ගොඩනැගී තිබෙන බවත්, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අද වනවිට සායනික ප්‍රතිකාර සේවා වැඩිදියුණු කරමින් 2009 දී සියයට එකක්ව පැවැති ඩෙංගු මරණ අනුපාතිකය අද වනවිට සියයට 0.05 සහ 0.06 දක්වා අඩුකර ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසී ය.
ප්‍රමුඛ අරමුණ රෝගීන් සංකූලතාවයට පත්වීම සහ මරණ ප්‍රමාණය අඩු කර ගැනිම යි
මේ වනවිට රෝහල් ගතවන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය සලකා බලා නේවාසික රෝගී ප්‍රතිකාර වෙනුවෙන් වෙනම වාට්ටුවක් වෙන්කර තිබෙන බව ද දැඩිලෙස රෝගාතුර වූ රෝගීන්ට සත්කාර සේවා සැපයීම වෙනුවෙන් High Dependency Unit ස්ථාපිත කෙරෙන බව ද පැවැසීය. ඊට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ අමතර කාර්ය මණ්ඩලයත් ලබාදෙන බවත්, රෝගීන් සංකූලතාවයට පත්වීම සහ මරණ ප්‍රමාණය අඩු කර ගැනිම ප්‍රමුඛ අරමුණ වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා යුහුසුළුව වැඩකටයුතකු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසී ය. ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනයට සමාජීව පිළිතුරක් අවශ්‍ය බවත්, එම සාමාජීය වගකම ඉටු කිරිමේ ජාතික වගකීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඩෙංගු අප රටේ ආවේණික රෝගයක් බවට පත්වෙලා
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ ඩෙංගු රෝගය අප රටේ ආවේණික රෝගයක් බවට පත්ව ඇති බවත්, ඩෙංගු රෝගය පාලනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවා ඇති බවත්, වරින් වර සිදු කරන වැඩසටහන්වලට පමණක් සීමා නොවී මෙම කාර්යභාරය සාමාන්‍ය ජීවිතයේ කොටසක් කර ගත යුතු බව යි.
වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 39ක්
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර අදහස් දක්වමින් කියා සිටියේ 2026 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 61,060 ක් වාර්තා වන බවත්, එමෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 39 ක් වන අතර වයස අවුරුදු 05 ට අඩු දරුවන් 05 දෙනෙකු සිටින බවත්, කාන්තා මරණ වැඩි අගයක් ගන්නා බව යි.
වැඩසටහන දින 14 ක් පුරා ක්‍රියාත්මක යි
MTV CHANNEL පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි අදහස් දක්වමින් කියා සිටියේ ජාතික වගකීමක් ලෙස සලකා මෙම වැඩසටහන දින 14 ක් පුරා ක්‍රියාත්මක කරමින් බස්නාහිර පළාතේ පරිශ්‍ර 3000 ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට අදහස් කරන බවත්, ඒ සඳහා MAS කැප්ටල්, මාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා Haleon lanka පුද්ගලික සමාගම ද මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන බව යි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, MBC NETWORKS පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධි වික්‍රමනායක, MTV CHANNEL සහ MBC NETWORKS පුද්ගලික සමාගමේ මහජන සම්බන්ධතා අධ‍්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ, MAS කැපිටල් පුද්ගලික ආයතනයේ සහ මාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ මානව සම්පත් මෙහහෙයුම් අධ්‍යක්ෂ චාරක ගුණවර්ධන ඇතුළු නිලධාරීන්, Haleon lanka පුද්ගලික සමාගමේ ඡ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු ප්‍රණවන් රවීන්ද්‍ර ඇතුළු නිලධාරීන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් ද එක්වූහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
