Image

අලි කොරිඩෝ 3ක් මේ වන විට නිදහස්, ඉතිරි කොරිඩෝත් හැකි ඉක්මනින් නිදහස් කරනවා - නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි

අලි කොරිඩෝ 3ක් මේ වන විට නිදහස්, ඉතිරි කොරිඩෝත් හැකි ඉක්මනින් නිදහස් කරනවා - නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි

මේ වන විට අලි කොරිඩෝ තුනක් නිදහස් කර ඇති බවත්, ඉතිරි කොරිඩෝ ද හැකි ඉක්මනින් ඉවත් කරන බවත් පාරිසරික නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා...

අලි වැට සහායක නිලධාරීන් බඳවා ගැනීම කඩිනම් කරනවා

''වසර ගණනාවක සිට මෙරට පවතින අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලියේ මෙන්ම ගෝලීය දේශගුණික විපර්යාසයන්හි අහිතකර ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට අලි-මිනිස් ගැටුම යම් තීරණාත්මක ක්‍රියාවලියක් වෙත පිවිස තිබෙනවා. මේ සඳහා තාවකාලික පැලැස්තර වෙනුවට ස්ථිර සහ තිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින්, නව රජය විසින් ජනාධිපතිතුමාගේ සෘජු උපදෙස් හා මගපෙන්වීම යටතේ විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මකයි. ජනතාව මුහුණ දෙන මෙම බරපතළ සමාජීය සහ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම උදෙසා ක්ෂණික කෙටිකාලීන පියවර මෙන්ම ශක්තිමත් දිගුකාලීන සැලසුම් රැසක් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නංවමින් සිටිනවා. මෙම කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ වනජීවී ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික මෙන්ම මානව සම්පත් කඩිනමින් ලබා දීමට අදාළ සියලු කටයුතු රජය විසින් සලසා තිබෙනවා. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අලි වැට සහායක නිලධාරීන් බඳවා ගැනීම සිදු කරන ලද අතර දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාහන ලබා දීම සිදු කෙරෙනවා. ඊට සමගාමීව වන අලින්ට වනාන්තරය තුළදීම අවශ්‍ය ජලය සහ ආහාර ලබා ගැනීමට හැකි වන පරිදි රක්ෂිත වනාන්තර තුළ පවතින වැව් ඇතුළු ජල මූලාශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්

එමෙන්ම, වනාන්තර තුළ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කර වන අලින් ඇතුළු සතුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා නව තණපිටි නිර්මාණය කිරීමේ විශේෂ සුපෝෂණ ක්‍රියාවලියක් ද මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මකයි. වන අලින්ගේ ස්වාභාවික හැසිරීම් රටාවන්ට බාධා නොවන පරිදි ඔවුන්ට නිදහසේ සංචරණය වීමට ඉඩ සැලසීම ද රජයේ අවධානයට යොමුව ඇති තවත් ප්‍රධාන කරුණක්. ඒ අනුව හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මේ වන විටත් අලි මංකඩවල් (Elephant Corridors) තුනක් වන කොහොලංකල, හදපානාගල සහ වැටහිරකන්ද යන ප්‍රධාන අලි කොරිඩෝ (අලිමංකඩ) ත්‍රිත්වය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමට නියමිතයි. මෙමගින් ගම්වැදීමට උත්සාහ කරන වන අලින් පාලනය කරමින් ජනාවාස සුරක්ෂිත කිරීමට අපේක්ෂා කෙරෙනවා. මීට අමතරව, මෙම ගැටලුව සඳහා විද්‍යාත්මක සහ ප්‍රායෝගික දිගුකාලීන විසඳුම් ඇතුළත් විධිමත් ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) සකස් කිරීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් ද පත් කර ඇත. අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DCC) නියෝජිතයන් මෙන්ම අමාත්‍යවරුන් ද ඇතුළත් වන පරිදි නිර්මාණය කර ඇති මෙම විශේෂඥ කමිටුව, දැනටමත් සිය කටයුතු ආරම්භ කර තිබෙනවා. පවතින යෝජනා මෙන්ම වර්තමානයට ගැළපෙන නවීන ක්‍රමවේදයන් ද උපයෝගී කරගනිමින් මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම කමිටුව සිය අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිතයි. රජයේ ප්‍රධානතම බලාපොරොත්තුව වන්නේ වනජීවී සම්පත් සුරකිමින්, අලි-මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල ජනතාව නිතර මුහුණ දෙන බියෙන් හා සැකයෙන් තොර වටපිටාවක් නිර්මාණය කිරීමයි.''

මූලාශ්‍ර - ITNnews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න