Language Switcher

V2025

ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් දී තිබේ.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම උපදෙස් ලබා දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බවය.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාල අනපනත් සංශෝධනය කිරීමේ වැදගත්කමද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.