ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් දිට්වා ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට තවමත් විධිමත් ලෙස සහන ලබා දෙන චක්‍රලේඛ හා රෙගුලාසි පවා සකස් කරන්න රජයට නොහැකි වී ඇති බැවින් එම ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ දිට්වා සුළි කුණාටු ආපදා හමුවේ රාජකාරි කළ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද (07) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ආපදා වැඩසටහන් ඉබි ගමනේ
''මෑත කාලයේ අප රටේ සිදු වූ විශාලම ආපදාව වන දිට්වා සුළි කුණාටුවෙන් පවුල් ලක්ෂ 7කට අයත් පුද්ගලයන් ලක්ෂ 24කට බලපෑම් සිදු වුණා. ඒ තුළින් පූර්ණ හානි නිවාස 6088ක්, අර්ධ හානි නිවාස 118000ක් සහ මරණ 670ක් සිදුවන විට 155ක් අතුරුදන් වෙලා. රටේ බරපතළ ආපදාවක් සිදුවූ මේ මොහොතේ පවා දිස්ත්‍රික් හතරක කඳවුරු 49ක් තියෙනවා. ලෝක බැංකුව කළ මුල් ඇස්තමේන්තු හරහා ඇ..ඩො. බි. 4.1ක් යටිතල පහසුකම් හානි වන විට එය දළ වශයෙන් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 4%ක්. මෙවැනි තත්ත්වයක් තිබිය දී පවා ආපදා සහන වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙ ඉබි ගමනින්. රජය හා රජයේ දේශපාලන අධිකාරියට අනුව මෙයට හේතුව නිලධාරීන්ගේ අකාර්යක්ෂමභාවය වුවත් මෙහිදී සිදුව ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව යි. තවමත් විධිමත් ලෙස සහන ලබා දෙන චක්‍රලේඛ හා රෙගුලාසි පවා සකස් කරන්න රජයට නොහැකි වී තිබෙනවා.
ආණ්ඩුව කරන්නෙ මාධ්‍ය සංදර්ශන පෙන්නන එක විතරයි
විපතට පත් පවුල් ලක්ෂ හතකට වැඩි ප්‍රමාණයට සහන දෙන්න, ජීවිත බේරා ගන්න රාජ්‍ය නිලධාරීන් උපරිම සේවාවක් ඉටු කළත් පශ්චාත් ආපදා සමයේ සහන දෙන චක්‍රලේඛ සකස් කර නැහැ. මේ නිලධාරීන්ට ලැබෙන සොච්චම් දීමනාවෙන් මේ තරම් විශාල සේවාවක් කළ නොහැකි නිසා මොවුන්ට ද සහන දිය යුතු යි. අද වන විට රජය ග්‍රාම නිලධාරීන්ගේ ද චිත්ත ධෛර්ය මානසික ශක්තිය මොට කරලා. ජනතාවට සහන දෙන්න අවශ්‍ය පහසුකම් දෙන ලෙස ඉල්ලා සිටියත් රජය ඒවා දෙන්නෙ නෑ. අවම වශයෙන් චක්‍රලේඛවත් සකස් කරල නෑ. රජය කරන්නෙ මාධ්‍ය සංදර්ශන පවත්වන ඒක විතරයි. මොවුන්ට හරියට චක්‍රලේඛයක්වත් සකස් කරන්න බැහැ.''

