සඳගෝමි කෝපරහේවා සමග මා කළ විවාදය සම්බන්ධයෙන් කරු පරණවිතාන සහෝදරයා දමා ඇති ප්‍රතිචාරය යට තිබෙන කමෙන්ටු කියවීම මේ යුගයේ බුද්ධිමය දේශපාලනය ගැන උනන්දු අයට වැදගත් කියා සිතමි.

අන් මත නොඉවසන ඒකාධිපතිවාදයක්
පරණවිතාන සහෝදරයා ගේ සටහනට විශේෂ ප්‍රතිචාරයක් දිය යුතුය කියා මට අවංකව සිතෙන්නේ නැත. මාගේ අදහස් දැක්වීම මගින් මතු කරන්න උත්සාහ කරන දෙය බොහෝ දෙනකුට වැටහී තිබෙනවා කියා ඔවුන් ලියා තිබෙනා දේ කියවන විට මට පැහැදිලි වෙයි. නිදර්ශනයක් ලෙස ධනංජය කරුණාරත්න ඒ සම්බන්ධයෙන් දමා ඇති දිගු කමෙන්ටුවත් ප්‍රසන්න පිටිගල ලියනගේ මේ සම්බන්ධයෙන් දමා ඇති ෆේස්බුක් පෝස්ටුවත් කියවන්න කියා මම ඉල්ලමි.
අපේ අදහස් සෑම කෙනකුට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම අර්ථ විරහිත වනවා පමණක් නොව විභවාත්මක ලෙස භයානක උත්සාහයක් කියාද මම සිතමි. එය අවසානයේ දී අන් මත නොඉවසන ඒකාධිපතිවාදයකින් අවසන් විය හැකි ය. එනිසා මගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පරණවිතාන ගේ සහෝදරයාගේ අදහස් දැක්වීමට එකඟ නොවෙමින් වුවත් ඔහුට එය එසේ තේරුම් ගැනීමට ඇති අයිතියට ගරු කරමින් මම නිහඬ වෙමි.
අර්ජුන පරාක්‍රම ගේ අවංකත්වය
මට උනන්දුව තිබෙන්නේ ඔහුගේ පෝස්ටුව යට ඇති කමෙන්ටු සහ ඒවාට ප්‍රතිචාර දක්වා ඇති අය සම්බන්ධෙයෙන් පමණි. පොදුවේ ගත්විට ඒ බොහෝ දෙනෙකුගේ මූලික ලක්ෂණයක් වන්නේ ඒ අය මේ ආණ්ඩුවට අකමැති අය වීමයි කියා සිතමි. මෙහි දී වැදගත් ප්‍රශ්නයක් වන්නේ මේ අය බුද්ධිමය දේශපාලනය සමග දක්වන සම්බන්ධය කුමක්ද යන්නයි. එය ඔවුනගේ ආණ්ඩු විරෝධය සමග අප තේරුම් ගන්නේ කෙසේද? මට සිතෙන්නේ මේ දෙක එකිනෙකට සමීප ලෙස ගැට ගැසී ඇති දේවල් කියා ය.
අර්ජුන පරාක්‍රම
මේ සම්බන්ධයෙන් මගේ ස්ථාවරය වන්නේ මෙවැන්නකි. මේ බොහෝ දෙනෙකු නිල ඇකඩමික් බුද්ධිමය අනන්‍යතාවයක් හිමි කරගෙන සිටියි. නමුත් මේ අයට කිසිදා අපේ රටේ අදහස් සම්බන්ධයෙන් ගැටුම් ඇති වන අවකාශයට පැමිණ සිය අදහස් පරීක්ෂා කරගත නොහැකි වෙයි. මින් අදහස් වන්නේ මේ අය මෙවැනි මහජන අවකාශයෙන් බාහිරව ශාස්ත්‍රාලීය පර්යේෂකයන් ලෙස ඉහළ මට්ටමක සිටිනා බවත් නොවේ. මේ බොහෝ දෙනෙකු තමන් අදහස් දක්වන ක්ෂේත්‍රයට අදාළ මූලික න්‍යායික ස්ථාවර සම්බන්ධයෙන් අවබෝධයක් නැති අය යි.
සඳගෝමි විට්ගන්ෂ්ටයින්, ප්රැක්මටික්වාදය ආදිය දන්නේද කියා මා ප්‍රශ්න කළේ මෙම නිසාය. ඔවුන් 'පොරවල්' වන්නේ ඔවුන්ගේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි මට්ටමේ සම්ප්‍රදාන කර තිබෙන නිසා නොව ඔවුන්ගේ තනතුරු, තානාන්තර සමග එන බලය නිසා ය. එනිසා ම මෙවැනි අය බුද්ධිමය දේශපාලනයේ දී හෙළිදරව් කළ යුතු ය. සත්‍ය වශයෙන්ම 'මේ අයගේ අදහස්' කියා දෙයක් කිසිවකුට හඳුනාගත හැකි වනවා කියා මා සිතන්නේ නැත. මා දාර්ශනිකව විරුද්ධ වුවත් අර්ජුන පරාක්‍රම මේ අය ගෙන් වෙනස් වන්නේ මේ නිසාය. අර්ජුනගේ ඉතා පැහැදිලිව සාකච්ඡා කිරීමට තරම් අදහස් තිබේ. ඔහු අව්‍යාජ බුද්ධිමතෙකු කියා මා සිතන්නේ මේ නිසා ය.
අරංගල ගේ මතය
මේ අය ගේ තරම පැහැදිලි වන අපූරු කමෙන්ටුවක් එහි රත්නසිරි අරංගල සටහන් කර ඇත. ඔහු කියා සිටින්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අතීතයේ දී සාධනීය දෙයක් කළ තැනක් වුවත් දැන් එය මා වැනි විකටයන්ට ඉඩ දෙන තැනක් ලෙස පිරිහී ඇති බවයි. රත්නසිරි අරංගල අපේ රටේ පසුගිය කාලයේ බුද්ධිමය සංවාදය තුළ නියෝජනය කරන න්‍යායික ආස්ථාන මොනවාද කියා කිසිවකු දන්නවා කියා මා සිතන්නේ නැත. මෙයට හේතුව වන්නේ ඔහුට එවැනි න්‍යායික ආස්ථාන කියා දෙයක් නොමැති වීමයි. ඔහු වැනි අයට කළ හැක්කේ අපට මඩ ගැසීම පමණි. ඒ වෙනුවෙන් ඔහු සිය තනතුරු සමග එන බලය පමණක් යොදා ගනියි.
රත්නසිරි අරංගල
වර්තමාන බුද්ධිමය සංවාදය නියෝජනය කිරීම
පසුගිය වසරේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සිය ව්‍යාපෘති සඳහා එකතු කරගත් පිරිස කවුද කියා මා එම කමෙන්ටුව කියවූ පසු කල්පනා කළෙමි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වූවා කියා මා දන්නා පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව මෙසේය: සුනිල් විජේසිරිවර්ධන, විදර්ශන කන්නන්ගර, කෞශල්‍ය කුමාරසිංහ, සමන් පුෂ්පකුමාර, රංජිත් පෙරේරා, චූලානන්ද සමරනායක, බූපති නලින් (මේ අයට අමතරව එහි වැඩවලට සම්බන්ධ වූ තවත් අය සිටිය හැකිය - මේ සිටින්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වැඩවලට සම්බන්ධ වූවා කියා මා නිශ්චිතව දන්නා පිරිසයි). මට සිතෙන්නේ අපේ රටේ වර්තමාන බුද්ධිමය සංවාදය නියෝජනය කිරීමට මේ ප්‍රමාණවත් තෝරාගැනීමක් කියා ය.
මේ අය වෙනුවට මෙයට සහභාගී කරගත හැකි වෙනත් බොහෝ දෙනකු සිටිනවා කියා මා සිතන්නේ නැත. මෙය පුරුෂ කේන්ද්‍රීය වනවා යන චෝදනාවට නම් මම එකඟ වෙමි. අපේ රටේ බුද්ධිමය ලෝකයේ සක්‍රීය කාන්තා හඬවල් මෙයට අනිවාර්යයෙන් එකතු විය යුතුය. නමුත් එතනින් මෙහා මෙහි වරදක් තිබෙනවා කියා මා සිතන්නේ නැත.

දැනුමේ ගතානුගතිකවාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ
මෙයට එරෙහි වන අය යනු දැනුමේ ගතානුගතිකවාදය වෙනුවෙන් පෙනී සිටිනා අය පමණි. මෙය දරාගැනීමට නොහැකිව කරු පරණවිතානගේ පෝස්ටුව යට කමෙන්ට් කර තිබෙන්නේ අපේ රටේ බුද්ධිමය ලෝකයට කිසිදු විධිමත් එකතු කිරීමක් නොකළ, තමන්ගේ කියා නිශ්චිත න්‍යායික ආස්ථාන නොමැති බොරු කාරයන්ය. මේ අය එසේ කරන්නේ සිය තනතුරවල බලයෙනි. මේ අයව අප හෙළිදරව් කළ යුතුය. මේ අපට තිබෙනා වැදගත් සාමූහික අභියෝගයක් කියා මම සිතමි.

වංගීස සුමනසේකර

