මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වී ඇති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පැය කිහිපය තුළ වාර්තා වූ දත්තවලට අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (6) පැවති අගයට වඩා 9%ක සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇත. ඒ අනුව, මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.
මෙලෙස තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන්නේ වසර දෙකකට පමණ පසුව වීම විශේෂත්වයකි.
අවසන් වරට මෙවැනි ඉහළ අගයක් වාර්තා වූයේ 2023 වසරේ සැප්තැම්බර් - නොවැම්බර් කාලසීමාව තුළ දී ය.
කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි 'Financial Times' පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ගෝලීය බලශක්ති සැපයුම සහ නාවික මාර්ග සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන මැදපෙරදිග කලාපයේ පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය "ලෝක ආර්ථිකය බිඳවැටීමට" (bring down the economies) හේතු විය හැකි බවයි.
ප්‍රවීණයින් පවසන්නේ කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් වර්ධනය වුවහොත්, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. මෙය ලෝක ආර්ථිකයට මෙන්ම මෙරට ඉන්ධන මිල කෙරෙහි ද ඉදිරියේදී බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයකි.
මූලාශ්‍ර
Oil price at two-year high after Qatar warns all Gulf production could stop within days

