හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි !

හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි !

මහජන සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියම කර ඇත.

උතුරු පළාතේ කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්ක ආශ්‍රිතවත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රීක්ක ආශ්‍රිතවත් ඊයේ සහ පෙරේදා (08, 09) දිනයන්හිදී හදිසියේ ගවයන්, මී ගවයන් සහ එළුවන් මිය යාම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ නිලධාරීන් වගකීම් සහගතව කටයුතු කළයුතු බවට ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට ගත වූ දෙදින තුළ උතුරු පළාතේ ගවයන් 358ක් සහ එළුවන් 191ක් මියගොස් ඇති අතර, නැගෙනහිර පළාතේ ගවයන් 444ක්, මී ගවයන් 34ක් සහ එළුවන් 65ක් මියගොස් තිබේ.

මේ වන විට උතුර හා නැගෙනහිර පශු වෛද්‍යවරුන් අදාළ ස්ථානවලට ගොස් සතුන් වෙත අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් සිටින බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කරයි.

එමෙන්ම සතුන් මිය යාම පිළිබඳ පළමු අදියරේ මූලික විමර්ශණ නැගෙනහිර සහ උතුරු පළාත්වල අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රීක් පශු විමර්ශණ මධ්‍යස්ථාන හරහා පශු විමර්ශණ නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, රට පුරා පැවති සීත කාළගුණය හේතුවෙන් ඇති වූ හදිසි කම්පනයක් මත මෙම සතුන් මිය ගොස් ඇති බව අනුමාන කරන බව ද හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී අද (10) දිනයේ දී විද්‍යාගාර විමර්ශණ ආරම්භ කළ බවත්, ඒ අනුව පේරාදෙණිය ප්‍රධාන කාර්යාලයේ පශු විමර්ශණ නිලධාරීන් අද කිළිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් මිය ගිය සත්ත්ව සාම්පල ලබා ගැනීම සිදු කර ඇති බවත් ඇය සඳහන් කළාය.
එම සත්ත්ව සාම්පල ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාගාර විමර්ශණයට අද සහ හෙට දවසේ දී භාජනය කරන බව ද හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වෙතත්, මෙම පර්යේෂණ කටයුතු නිසි පරිදි සිදු කර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන තෙක් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න