දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය !

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය !

ශ්‍රී ලංකාව ගෙන එන "දේශගුණික සෞභාග්‍ය සැලැස්ම" ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) පැවසුවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ඉදිකිරිමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපරීම සහයෝගය ලබාදිමට කටයුතු කරන බව ද ලීසා වැන්ස්ටාල් ප්‍රකාශ කළාය.

මීට අමතරව, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ පැසසුමට ලක්කළ මහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එය මෙරට අනාගත සුබ සිද්ධිය උදෙසා සැලසුම් සහගතව ගත් පියවරක් ලෙස ද පෙන්වා දුන්නාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ඉදිරි වැඩසටහන් ගැන කරුණු ඉදිරිපත් කළ අතර, දේශගුණික විපර්යාස පිළිබඳ පනත ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එහිදි සඳහන් කළේය.

කලාපයේ ‍දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සොයා බැලීමට දේශගුණික විපර්යාස කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන බව පැවසූ රුවන් විජයවර්ධන ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාසවලට මුහුණදීමට අවශ්‍ය විසඳුම් මෙහිදී සොය ගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හරිත හයිඩ්‍රජන් බලශක්තිය පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනිය බලශක්තියට ඇති ඉඩ ප්‍රස්ථාව තවත් වර්ධනය කිරිමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපති උපදේශකවරයා වැඩිදුරටත් ‍කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී කතා බහට ලක්විය.

බ්‍රිතාන්‍ය රජයේ සෞභාග්‍ය කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෘ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ සජන සූරියආරච්චි ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න