Language Switcher

V2025

ආර්ථික අපරාධ හොයන්න : විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි !

ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වූ යෝජනාවක් අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් කථානායකවරයාට භාරදී ඇත.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අස්සන් කර තිබිණ.

ආණ්ඩුවේ හිටපු අයත් වගකියන්න ඕන !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ යෝජනාව වැදගත් නමුත් පසුගිය සමයේ ආණ්ඩුව නියෝජනය කළ පාර්ශව වෙත ආර්ථික අපරාධ සම්බන්ධ චෝදනාවෙන් නිදහස්වීමට නොහැකි බවයි.

ඉතිහාසයේ සිදුවූ ආකාරයට පාලක සභාගයකට ආණ්ඩු බලය අහිමිවන විට එකී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ පාර්ශව විපක්ෂයේ අසුන් ගැනීම හරහා සියලු පව් සෝදාගැනීමට සූදානම් වන නමුත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් විචාරක මතයවී තිබේ.

විශේෂයෙන් කැබිනට් තීරණ ලෙස අනුමත කළ තීන්දු තීරණ සම්බන්ධයෙන් සාමුහිඛ වගකීමක් අද විපක්ෂයේ අසුන් ගත්තත් ඔවුන්ට ඇති බවත් දේශපාලන විචාරයකන් පවසයි.

මෙහිදී දේශපාලන විචාරකයන් අවධාරණය කරන්නේ, ජනතා අරගලය හමුවේ සිදුවූ බල හුවමාරුව හමුවේ මිස ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කිසිවකු පසුගිය ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණවලට එරෙහිව, ඊට විරෝධය දක්වා ඉන් බැහැර නොවූ බවයි.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ,

i. මෙරට ආර්ථික පරිහානියන්ට හේතු වූ බදු සහන ණය වාරික නොගෙවා සිටීම, ආනයන සීමා පැනවීම, රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම, නිල සංක්‍රමණික ප්‍රේෂණ පහත වැටීම, රටේ උද්ධමනය අධිඋද්ධමන තත්ත්වයක් දක්වා වැඩි වීම. ජීවන වියදම වැඩිවීම හේතුවෙන්,

ii. මෙතෙක් මුහුණ නොදුන් ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් තිබෙන්නේ, ඒ සම්බන්ධයෙන් අදාළ කාලසීමාවන්හි වගකීම් දරන ලද පුද්ගලයන් තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ද යන්නත්,

iii. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ / හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන්නත්,

iv. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ/ හෝ අවම කිරීමට නොහැකි වීමට හේතු වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද යන්නත්,

v. එවැනි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට දායක වූ වෙනත් කරුණු තිබේ ද යන්නත්,

vi. අනාගතයේදී එවැනි ආර්ථික අර්බුදයන්ට රට පත් වීමට දායක වන්නා වූ වෙනත් කරුණු තිබේද යන්නත්,

vii. අනාගතයේදී එවැනි ආර්ථික පරිහානියන් අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නත්,

සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසයි.

තව ද එම කාරක සභාව 12කට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවත් කතානායකවරයා විසින් එහි සභාපතිවරයා පත් කරනු ලැබිය යුතු බවත් එහි සඳහන් ය.

මේ අතර ඉහත සඳහන් කර ඇති කරුණු පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා කාරක සභාව අවශ්‍ය යැයි තීරණය කරන පරිදි, ඕනෑම පුද්ගලයෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව, ලබා දීමට හෝ ලබා ගැනීමට ද, කාරක සභාවට සහාය වීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයින්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතු ය.

මීට අමතරව කලින් සිදු කළ අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද, බලය තිබිය යුතුයි.

අදාළ ලිපියේ සඳහන් වන්නේ, සිය පළමු රැස්වීම් දිනයේ සිට මාස තුනක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.