සජබ ආර්ථික ඔස්තාද්ලා විශ්‍රාම යවයි : සජිත්ගෙන් රාජපක්ෂ පන්නයේ ආර්ථික ප්‍රතිපත්තියක් !

සජබ ආර්ථික ඔස්තාද්ලා විශ්‍රාම යවයි : සජිත්ගෙන් රාජපක්ෂ පන්නයේ ආර්ථික ප්‍රතිපත්තියක් !

ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස දක්වා ඇති අදහස් හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ දෙදෙරීමක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , මෙතෙක් කාලයක් තිස්සේ සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය මුළුමනින්ම බැහැර කරමින් රාජ්‍ය ඒකාධිකාරයකට සමීප ඉතා පටු ආර්ථික වැඩපිළිවෙළක් පක්ෂයේ ප්‍රතිපත්තිය විය යුතු බවට අදාළ සාකච්ඡාව අවස්ථාවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ස්ථාවරය ලෙස ප්‍රකාශ කර ඇත .

වාර්තා වන ආකාරයට මේ සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න , කබීර් හෂීම් , එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා ඇතුළු කිහිපදෙනෙකු එක්ව ඇත.

එහිදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ , වත්මන් අර්බුදය සමනය කරගෙන රට ඉදිරියට ගැනීමට නම් IMF සමග සහයෝගයෙන් ඉදිරියට යායුතු බවය. ඒ හැර වෙනත් සුදුසු විකල්පයක් රට මුහුණපා ඇති තත්ත්වය හමුවේ නැති බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා ඇති අතර ඊට සහභාගිවී සිටි පිරිස අතර නිහඬ එකඟතාවක් පළව ඇත.

එහෙත් එහිදී සජබ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ , IMF එකම විකල්පය ලෙස සැලකීම රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවයි. සජිත් ප්‍රේමදාස ආර්ථික ප්‍රතිපත්තියට අනුව IMF සමග ඉදිරියට යාම දුෂ්කර වනු ඇති බවත් ඔහු පවසා ඇත .

වාර්තා වන ආකාරයට එහිදී සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ ,මේ මොහොතේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන පෞද්ගලීකරණය කිරීමට IMF යෝජනා කළහොත් තමන්ව ජනතා අප්‍රසාදයට පත්වනු ඇති බවය.

එබැවින් රනිල් වික්‍රමසිංහ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට සජිත් ප්‍රේමදාස ආර්ථික ප්‍රතිපත්තිය අනුව සියලු රාජ්‍ය ආයතන කාර්‍යක්ෂම කිරීමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසූ බවත් වාර්තා වෙයි .

වඩාත් ගැටලු සහගත තත්ත්වය වන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකීම් පවරා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න ගේ මූහුණටම මේ ඉතා පසුගාමී ආර්ථික දැක්ම පැහැදිලි කර සිටීමය.

මේ ආකාරයට මෙතෙක් දැරූ ආර්ථික ප්‍රතිපත්තියට මුළුමනින්ම වෙනස් වූ සහ පසුගිය සමයේ රාජපක්ෂවරුන් අත්හදා බැලීමට ගොස් අසාර්ථක වූ, 70 දශකයේ සිරිමාවෝ පාලනය තුළත් අසාර්ථක වූ ආර්ථික ප්‍රතිපත්තියක් හදිසියේ සජිත් ප්‍රේමදාස යෝජනා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව සඳහා සහභාගි වූ මන්ත්‍රීවරුන් මවිතයට පත්ව සිටි බවත් වාර්තා වෙයි .

එසේම ඔවුන් සාකච්ඡාව අවසානයේදී කනස්සල්ලෙන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගෙන ඇති බවත් වාර්තා වන අතර , ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය සමයේ සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් දිගින් දිගටම අදහස් දැක්වූ මන්ත්‍රීවරයකු ආවේගයෙන් අදහස් දක්වා ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පිරිසට පවසා ඇත්තේ , "ලොක්කා සියල්ල අත්හැර 3% පස්සේ වැටිලා " කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න