අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන් ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි කියන්නේ ජුනි 1 වැනිදා සවස ඔහු අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමු වූ අවස්ථාවේ දී නිල රැස්වීම ආරම්භ කිරීමට පෙර ය. ඒ වන විට, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන රැස්වීම සඳහා පැමිණ නොතිබුණු බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයා ගේ අදහස සම්බන්ධයෙන් අධිකරණ නිලධාරින්ගේ සංගමයේ සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරින් විශේෂ ප්‍රතිචාරයක් දක්වා නැති බව ද අපේ ආරංචි මාර්ග කියයි.
අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා හමවුණේ සිය වැටුප් සහ දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.
ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පවසා ඇත්තේ සියලු විනිසුරුවරුන් ගේ විශ්‍රාම ගැනීමේ වයස දිගු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහෙත් එහි මූලික අරමුණ, වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුවට තිබෙන වුවමනාව බව නීති ක්ෂේත්‍රයේ විචාරකයෝ කියති. මෙවැනි සේවා දීර්ඝයක් නොලැබුණොත්, වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, එළඹෙන දෙසැම්බරයේදී විශ්‍රාම ගැනීමට නියමිත ය.
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් ඇතුළු නීති වෘත්තිකයන් ගේ වෘත්තීය සංවිධානය වන ශ්‍රී ලංකා නිතිඥ සංගමය ද, ජනාධිපතිවරයා ගේ මෙම උත්සාහයට සිය විරෝධය පළකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයකු ගේ එම වයස අවුරුදු 63කි. මේ සීමාව දිගු කිරීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
