මුව ආවරණ පැළඳමේ නීතිය ඉවත් කිරීම කාලෝචිත නෑ - විශේෂඥ වෛද්‍යවරුන් !

 මුව ආවරණ පැළඳමේ නීතිය ඉවත් කිරීම කාලෝචිත නෑ - විශේෂඥ වෛද්‍යවරුන් !

මුව ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ගන්නා ලද තීරණය මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට කළ නිවේදනය මෙම අවස්ථාවේදී නුසුදුසු මෙන්ම කාලෝචිත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි .

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි .

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අර්බුද හමුවේ මුඛ ආවරණ පැලදීම අනවශ්‍ය ද?

2022 ජුනි මස 10 වැනිදා සිට එළිමහන් හා ගෘහස්ථ ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදිසියේ නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අපි විමතියට පත් වීමු.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ද රෝහල් තුළදී මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය දැයි මෙම නිවේදනය මගින් පැහැදිලි කර නොමැත.

දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ඇති ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම්වල ඇති අඩුපාඩු අපට රහසක් නොවේ. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ස්වසන ආබාධ සහ තවත් රෝගාබාධ විශාල ප්‍රමාණයක් පැතිරීම මුඛය සහ නාසය හරහා සිදු වන බව බොහෝ දෙනා දන්නා කරුණකි. මෙලෙස රෝගී වන සෑම පුද්ගලයකු විසින්ම ප්‍රතිකාර සඳහා සිදුවන වියදම් වැඩි කරන අතරම රැකියාවට නොපැමිණීම මගින් ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීමට අනුබල දීමක්ද එමගින් සිදු කරනු ලබයි. එමනිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට කළ නිවේදනය මෙම අවස්ථාවේදී නුසුදුසු මෙන්ම කාලෝචිත නොවන බව අපට හැගේ.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මහජනතාවට දන්වා සිටින්නේ විශේෂයෙන්ම රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයද රෝගී ප්‍රතිකාර සැපයීම පිළිබඳ යම් අර්බුදයක සිටින මේ අවස්ථාවේ, අප විසින් සෞඛ්‍යයාත්මක ලෙස දැනට අනුගමනය කරන මුඛ ආවරණ පැළඳීමේ පුරුද්ද, විශේෂයෙන්ම ගෘහස්ථ රැස්වීම්වලදී තවදුරටත් අනුගමනය කරන ලෙසටයි. එමෙන්ම වයෝවෘද්ධ මෙන්ම සංකූලතා ඇති පුද්ගලයින් අනවශ්‍ය ලෙස ස්වසන රෝග වලට භාජන වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය ආයතන තුළ දී මුඛ ආවරණ පැලදීම තව දුරටත් අවශ්‍ය බවට තීරණය කළ යුතු බව අපි අවධාරණය කරමු.

වැදගත් කරුණක් ලෙස මෙහිදී අප දකින්නේ මුඛ ආවරණයක් පැළඳීම ඉතා සුළු සෞඛ්‍යමය පුරුද්දක් වුවද එමගින් පොදු මහජනතාවගේ සෞඛ්‍යයට සිදුවන විශාල මෙහෙය අප විසින් අමතක නොකළ යුතු බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න