Language Switcher

V2025

අත දරුවන් වඩාගෙන බස් ගිනි තියන්න එන්නේ නෑ - අනුර

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස ඉදිරිපිට (31) පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ පක්‍ෂ මූලස්ථානයේ දී  (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අත දරුවන් වඩාගත් මව්වරු, නිවෙසේ සිට පැමිණි වැඩිහිටියන්, දරුවන් බිරින්දෑවරුන් සමඟ පැමිණි ස්වාමිපුරුෂයන් උද්ඝෝෂණවලට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක එහිදී අවධාරණය කර සිටියේ ය.

උද්ඝෝෂණවලදී මෙවන් තත්වයන් ඇතිවීම ආණ්ඩුවට හිතකර බැවින් ඔවුන් එවැනි තත්වයක් ඇතිකරගැනීමට බලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසූ අතර ආණ්ඩුව හිතා මතා සැලසුම් කර මේ සඳහා කණ්ඩායමක් යෙදවූයේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් පැන නගින බවත් පැවසීය.

පොදු ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයකට පහරදීමට හෝ බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය උපකරණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකරන අය පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහාද යනුවෙන් ද ඔහු විමසීය.

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන විට ආණ්ඩුවට වාසිසහගත හා ආණ්ඩුව විසින් ඇතිකරන ප්‍රචණ්ඩකාරී තත්වයන් වළක්වාගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බවත් පැවසීය.

උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කරගැනීම තුළ ආණ්ඩුවට තමන්ගේ කෝකටත් තෛලය වන හමුදා යාන්ත්‍රණය යොදාගැනීමට හැකියාව ලැබෙන බව ද අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය .

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අයට අත පය ඉදිරමන තරමට පහරදී ඇති බවත්, එක් තරුණයෙන් උණ්ඩ වැදී රෝහල්ගත කර තිබෙන බවත් කී අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙවැනි සාමාන්‍ය ජනතා උද්ඝෝෂණයකට පහරදීමකට අණ දුන්නේ ආරක්‍ෂක ඇමති ගෝඨාභය රාජපක්‍ෂද නැතිනම් පොලීසිය භාර ඇමති සරත් වීරසේකර , ද එසේත් නැතිනම් කවුද යන්න රටට කිව යුතු බව ද පැවසීය.

ඔවුන්ට තනතුරු ලැබී ඇත්තේ දුන්නේ පොදු පුරවැසියන් දකින දකින තැන පහරදෙන්නට නොවේ යැයි ද ජ.වි.පෙ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.