Language Switcher

V2025

ශ්‍රීලංකන් සිංගප්පූරුවේ දී ද්විත්ව සම්මානයෙන් පිඳුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල සමූහය විසින් පවත්වන ලද 2021 ‘Let’s Talk Cargo සම්මාන උළෙලේ දී “භාණ්ඩ සේවා විශිෂ්ටතා සම්මානය” (Cargo Service Excellence Award ) සහ “Absolute Cargo Award Growth” යන සම්මාන ද්විත්වයෙන් පසුගියදා පිදුම් ලැබීය. මේ අනුව සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ සඳහා වැඩිම දායකත්වයක් සපයන ඉහළම ගුවන් සමාගම් 05 න් එකක් බවට ද ශ්‍රීලංකන් ගුවන් සමාගම පත්විය.

සිංගප්පූරුවේ ගුවන් භාණ්ඩ කර්මාන්තයේ හවුල්කරුවන් විසින් මෙම ‘විශිෂ්ටතා සම්මානය’ සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය නිර්දේශ කර තිබේ. මෙම සම්මාන පිරිනමන ලද්දේ උසස් පාරිභෝගික සේවාවක් සැපයීම සහ චැංගි ගුවන් භාණ්ඩ කේන්ද්‍රය හරහා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වේගවත් හා නව්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන්ය.

පසුගිය වසරේ කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වී යාමෙන් පසුව, ගෝලීය ගුවන් ගමන් තාවකාලික වශයෙන් නතර වූ අවස්ථාවක චැංගි ගුවන්තොටුපළ වෙත භාණ්ඩ හා මගී ගුවන් ගමන් ආරම්භ කළ පළමු ගුවන් සමාගම් කිහිපයෙන් එකක් වන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

ඒ අනුව, පසුගිය වසරේ සිට මෙම ගුවන් ගමන් අමතරව කොළඹට සිට චෙන්නායි, මුම්බායි, නවදිල්ලිය, ක්වාලාලම්පූර් සහ මෙල්බර්න් යන ගමනාන්ත පහකට සෘජු සේවා සැපයීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. එහි දී අත්‍යවශ්‍ය භාණ්ඩ , මෙන්ම පුද්ගලික වෛද්‍ය උපකරණ (PPE) ඇතුළු හදිසි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඇතුළත් විය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශ ප්‍රධානී චාමර රණසිංහ මෙසේ පැවසීය. “ගුවන් සේවා කර්මාන්තයේ ඉතිහාසයේ පෙර නොවූ විරූ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් තුළ සිංගප්පූරුවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන කණ්ඩායම සහ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවා කටයුතු වෙනුවෙන් “සේවා විශිෂ්ටත්වය” යන පිළිගැනීම ලැබීම අතිශයින්ම දිරිගන්වන සුළුයි. අපි යන ගමන පහසු එකක් නොවූවත්, එය ඉතා වටිනවා. ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ කලාපය තුළ බාධාවකින් තොරව සැපයීම සඳහා තවදුරටත් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම කාල පරිච්ජේදය තුළදී,‍ සිංගප්පූරුව වෙත අපනයන කටයුතු සිදු කිරීමට සහ නියමිත වේලාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට සහාය වීමටත්, රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර රැගෙන ඒමටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දකුණු ආසියා සහ ඕස්ට්‍රේලියා කලාපීය කළමනාකරු මොහාන් මීගොල්ල  ගුවන් සේවය වෙනුවෙන් සම්මානය භාර ගනිමින් මෙසේ පැවසීය. “අපගේ හවුල්කරුවන්ට තරඟකාරී මිල ගණන් යටතේ ස්ථාවර හා උසස් පාරිභෝගික සේවාවක් සැපයීමට අපි උත්සාහ කරනවා. අපගේ එම උත්සාහයන් සිංගප්පූරුවේ භාණ්ඩ ප්‍රවාහය සහ චැංගි ගුවන්තොටුපල සමූහය විසින් පිළිගැනීම ගැන අපි සතුටු වෙනවා”. යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාස දහය තුළ සිංගප්පූරුවේ සිට මෙන්ම අනෙකුත් ආසියානු රටවලින් චැංගි ගුවන් කේන්ද්‍රය හරහා ශ්‍රී ලාංකිකයන් 1500 කට වැඩි පිරිසක් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පහසුකම් සපයා තිබේ. මෙම කාලය තුළ ගුවන් භාණ්ඩ කර්මාන්තයට දැක්වූ දායකත්වය පිළිබඳව චැංගි ගුවන්තොටුපල සමූහය ශ්‍රීලංකන් ගුවන් සේවයට ස්තූතිය පුද කළේය.

තවද, ශ්‍රීලංකන් ගුවන් සේවය සිංගප්පූරුව හරහා පැය 36 ක ගුවන් ගමන් කාලයක් සහිතව රටවල් 03 ක අතරමැදි නැවතුම් 05 ක් සමඟ සිය දීර්ඝතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කටයුතු ක්‍රියාත්මක කරයි.

චැංගි ගුවන්තොටුපළ ලෝකයේ කාර්යබහුලම මගී හා භාණ්ඩ කේන්ද්‍රස්ථානයක් වන අතර එය දැනට ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ ස්කයිට්‍රැක්ස් විසිනි.

එය අඛණ්ඩව වසර අටක් හිමිකරගත් ලොව ප්‍රථම ගුවන් තොටුපළ ලෙසද චැංගි ගුවන්තොටුපළ හැඳින්වේ. චැංගි ගුවන්තොටුපළ යනු ලොව විශාලතම ගුවන් කේන්ද්‍රස්ථානයක් වන අතර වාර්ෂිකව මගීන් මිලියන 68 ක් සහ ගුවන් යානා 382,000 ක් සහිත මෙට්‍රික් ටොන් මිලියන 03 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරයි.